Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වේග පන්දු යැවීමට කෝඩුකාරයෝ කැඳවති
එක්දින තරගාවලිය

වේග පන්දු යැවීමට කෝඩුකාරයෝ කැඳවති

editorial - 2024 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරිව සිටි වේග පන්දු යවන්නන්ගෙන් තිදෙනාගෙන් මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක දෙදෙනාත් තුවාල ලබා සිටිති. ඔවුන් දෙදෙනා වෙනුවට නවක වේග පන්දු යවන්නන් දෙදෙනකු වන මොහොමඩ් ෂිරාස් සහ එෂාන් මාලිංග එක්දින සංචිතයට කැඳවා ඇත. මේ දෙදෙනාම තවමත් ශ්‍රී ලංකා හිස්වැස්ම නොපැළඳි ආධුනිකයෝ වෙති. 

මෙම ක්‍රීඩකයන් දෙදෙනාට අමතරව කුසල් ජනිත් පෙරේරා, ප්‍රමෝද් මධුශාන් සහ ජෙෆ්රි වැන්ඩසේ තිදෙනාම අතිරේක ක්‍රීඩකයන් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා සිටිති. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය හෙට (2 වැනිදා) සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. දිවා/රාත්‍රී තරග වන මෙම තරග තුනම පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය. 

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලි දෙකක් වෙනුවෙන් නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මේ වන විට වේග පන්දු යවන්නෝ පස් දෙනෙක් ඉවත්ව සිටිති. ඔවුන්ගෙත් සිව් දෙනෙක් ඉවත්ව ඇත්තේ විවිධ ශාරීරික ආබාධ හේතුවෙනි. 

වේග පන්දු යවන්නකු වශයෙන් අසිත ප්‍රනාන්දු තවමත් සංචිතයේ ඉතිරිව සිටින අතර චාමික කරුණාරත්න වේග පන්දු යැවීමේ හැකියාවෙන් යුත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. චමිඳු වික්‍රමසිංහ එක්දින සංචිතයට ඇතුළත් නොවන බැවින්, පවතින තත්ත්වය අනුව අසිත ප්‍රනාන්දුට සහ චාමික කරුණාරත්න දෙදෙනාට නව පන්දුවෙන් පන්දු යැවීමේ වගකීම බාරගැනීමට සිදුවනු ඇත. 

විස්සයි-20 සංචිතයට නම්කරනු ලැබ සිටි දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර සහ බිනුර ප්‍රනාන්දු යන තිදෙනාම තරගාවලිය ආරම්භ වීමටත් පෙරම සංචිතයෙන් ඉවත් වූහ. ඔවුන්ගෙන් බිනුර ප්‍රනාන්දු සංචිතයෙන් ඉවත් වූයේ අසනීප තත්ත්වයක් හේතුවෙනි. 

තුන්වැනි විස්සයි-20 තරගයේදී පන්දු රකිමින් සිටියදී උරහිසේ ආබාධයකට ලක්වූ මතිෂ පතිරණ එවේලේම ක්‍රීඩාගාරයට ගිය අතර ඔහු එම තරගයේදී එකම පන්දුවක් හෝ නොයැවීය. ඩිල්ෂාන් මධුශංක පුහුණුවීම් කරන අතරතුර, පාදයේ කලව පිටුපස මස්පිඬුවේ ආබාධයකට ලක්වී සිටී. 


අදහස් (0)

වේග පන්දු යැවීමට කෝඩුකාරයෝ කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.