Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල ක්රීඩාංගණයේ සිට...)
ප්රභාත් ජයසූරිය (83/3) සහ රමේෂ් මෙන්ඩිස් (63/1) දෙදෙනා එක්ව ඕවර 18 ක් ඇතුළත කඩුලු 4 ක් බිම දමමින් පාකිස්තානය අමාරුවේ දැමූහ. එහෙත් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 120 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ සවුද් ශකීල් (නොදැවී 69) සහ අඝා සල්මාන් (නොදැවී 61) පාකිස්තානු පිල වැටී සිටි අගාධයෙන් ගොඩගත්හ.
ගාල්ල අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (17 වැනිදා) සවස ඇතිවූ වර්ෂාව නිසා ක්රීඩාව නතර කරන විට පාකිස්තානුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටියහ.
මුල් ඉනිමේදී ලකුණු 312 ක් ලබාගත් ශ්රී ලංකා කණ්ඩායම තවමත් ලකුණු 91 ක් ඉදිරියෙන් සිටින නමුත් පාකිස්තානු මුල් ඉනිම සඳහා තවත් කඩුලු 5 ඉතිරිව තිබේ. ශ්රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාව හෙට උදෑසනින්ම එම කඩුලු 5 බිම දමාගැනීමයි.
ඉනිමේ 21 වැනි ඕවරය නිමා වන විටත් පාකිස්තානු පිතිකරු ලයිස්තුවේ ඉහළ කොටසේ සිටි සියලු දෙනාම ආපසු ක්රීඩාගාරයට ගොස් සිටියහ. වමත් දඟ පන්දු යවන්නන් හමුවේ පාකිස්තානුවන් පෙන්වන දුර්වලතාව යළිත් වරක් පැහැදිළි කරමින්, දැවී ගිය කඩුලු 5 න් 3 ක්ම වමතින් දඟ පන්දු යවන ප්රභාත් ජයසූරියට හිමිවී තිබිණ. එසේ වුවත්, ගාල්ලේදීම සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ අඝා සල්මාන් සහ වමත් ස්වීප් කාරයා වන සවුද් ශකීල්, ශ්රී ලංකා පන්දු යවන්නන් හමුවේ මෙල්ල නොවී සිටියහ.
විශේෂයෙන්ම සවුද් ශකීල් වැඩි වැඩියෙන් තම පා ඉන්න පැත්තෙන් ලකුණු ලබාගත්තේ ෆ්ලික් සහ ස්වීප් පහර උපයෝගී කරගනිමිනි. විනාඩි 145 ක් පුරා පන්දු 88 කට මුහුණ දුන් ශකීල්, හතරේ පහර 6 ක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.
ධනංජය ද සිල්වා ලබාගත් අලංකාර ශතකයෙන් (122) පසුව සිය නායකයාගේත් කණ්ඩායමේත් අභිලාෂයන් මැනවින් වටහාගෙන සිටි කසුන් රාජිත සහ විශ්ව ප්රනාන්දු දෙදෙනා, ලකුණු 300 කඩයිමෙන් ඔබ්බට ශ්රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ. දිවා ආහාරයට විනාඩි කිහිපයකට පෙර, ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 312 කට දැවී ගියේය. එහෙත් අද සවස පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ධනංජය ද සිල්වා කියා සිටියේ තවත් ලකුණු 100 ක් විතර මුල් ඉනිමට එකතු වූවා නම් වඩාත් හොඳ බවයි.
“අපිට ලකුණු 100 ක් විතර මදිවුණා. කාසියේ වාසිය දිනලා ඉස්සෙල්ලා බැට් කරනවා නම් අපි ලකුණු 400 කට වැඩියෙන් ගහන්න ඕනා” යයි ධනංජය කීවේය.
තරගයේ පළමු දිනය වූ ඊයේ සවස ක්රීඩාව නතර කරන විට කඩුලු 6 කට ලකුණු 242 ක් ලබා සිටි ශ්රී ලංකා පිතිකරුවෝ අද පෙරවරුවේදී සිය ඉනිමට එකතු කළේ ලකුණු 70 කි. ඒ වෙනුවෙන් ඔව්හු පැය දෙක හමාරකට ආසන්න කාලයක් මිඩංගු කළහ.
පෙරවරු 9.45 ට තරගය ආරම්භ වීමෙන් මඳ වේලාවකට පසුව ධනංජය ද සිල්වා, මුහුණ දුන් 175 වැනි පන්දුවේදී සිය 10 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළේය. තම 50 වැනි ටෙස්ට් තරගයට ක්රීඩා කරමින් සිටින ධනංජයට අද පෙරවරුවේදී ඒ වෙනුවෙන් විශේෂ හිස්වැස්මක් ප්රදානය කරනු ලැබිණ.
2016 දී ඕස්ටේ්රලියානුවන්ට එරෙහිව පල්ලෙකැළේ ක්රීඩාංගණයේදී ටෙස්ට් පිටියට පිවිසි ධනංජය, 2016 දීම කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති තුන්වැනි තරගයේදී සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත්තේය. එහි ප්රතිඵලය වූයේ ශ්රී ලංකා කණ්ඩායම විසින් පළමු වතාවට, ඕස්ටේ්රලියානුවන් හමුවේ 3-0 ක ටෙස්ට් තරගාවලි ජයක් සම්පූර්ණ කිරීමයි.
මෙතෙක් ලබාගත් ටෙස්ට් ශතක 10 න්, තවමත් ධනංජයගේ වැඩි කැමැත්ත ඇත්තේ එස්.එස්.සී. පිටියේදී ලබාගත් එම ශතකයටයි.
පැය පහකටක් වැඩි දීර්ඝ ඉනිමකින් පසුව, 9 වැනි පිතිකරුවා වශයෙන්, ධනංජය දැවී යන විට ධනංජය මුහුණ දුන් පන්දු 214 කින් 15 ක් හතරේ සීමාවෙන් එපිටට යවා තිබිණ. ඒවායින් තුනක් හතරේ සීමාවට ඉහළින් පියාඹා ගියේ පාකිස්තානු දඟ පන්දු යවන්නන් දෙදෙනා අන්ද මන්ද කරමිනි.
ලකුණු 283 දී ධනංජය ද සිල්වා දැවී ගියත්, අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 29 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ විශ්ව ප්රනාන්දු සහ කසුන් රාජිත ලකුණු 310 සීමාව දක්වා ශ්රී ලංකා පිල කැඳවාගෙන ගියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.