Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ඉනිමක දැවැන්ත ජයක්
ගාල්ල ටෙස්ට් තරගය - 2

ශ්‍රී ලංකාවට ඉනිමක දැවැන්ත ජයක්

editorial - 2024 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)

මිචෙල් සෑන්ට්නර් (67) ඇතුළු පසුපෙළ පිතිකරුවන් තමන්ගේ දෑස් අබිමුව තිබූ පරාජය ප්‍රමාද කරමින් සිටි නමුත් දිවා ආහාරයෙන් පසුවී විනාඩි 25 ක් ඇතුළත අවසන් කඩුලු දෙකම බිම දමාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 154 ක දැවැන්ත ජයක් අත්පත් කරගත්හ. මෙම ජයත් සමගින් තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම 2-0 ක ජයක් අත්කර ගත්තේය.

තරගාවලිය 2-0 කින් ජයගත් හෙයින් වසර 2023-2025 (මාස 24 ක) කාලය සඳහා වන ලෝක ටෙස්ට් ශූරතාවලියේදී තරග 9 කට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඒවායින් තරග 5 ක් ජයගෙන, 55.56 % ක ජයග්‍රාහී ප්‍රතිශතයක් පෙන්වමින් ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය තහවුරු කරගෙන සිටී. 

ලකුණු 514 ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ආරම්භ කළ නවසීලන්ත පිතිකරුවෝ ඊයේ (සෙනසුරාදා) සවස ක්‍රීඩාව තරන කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 199 ක් ලබා සිටියහ.
 එහෙත් අද පෙරවරුවේදී නවසීලන්ත පසුපෙළ පිතිකරුවන් කළ ධෛර්ය සම්පන්න පිතිහරඹය නිසා ඔව්හු පැය තුනකට මඳක් අඩු කාලයකදී (විනාඩි 162 කින්) ලකුණු 161 ක් ලබාගත්හ. ඒ අතරවාරයේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙතින් උඩපන්දු 4 ක් ගිළිහී  ගියේය.
 
කමිඳු මෙන්ඩිස්ගෙන් උඩපන්දු දෙකක් ද නිශාන් පීරිස් වෙතින් තවත් උඩපන්දුවක් ද ගිළිහී යාම නිසා මිචෙල් සෑන්ට්නර් ලකුණු 36 දී මෙන්ම 47 දීත් වාසනාව උදාකර ගත් නමුත් දිවා ආහාරයෙන් පසුව කුසල් මෙන්ඩිස්ගේ ස්ටම්ප් කිරීමකට ගොදුරු විය. 

ග්ලෙන් පිලිප්ස් දවාගනිමින්. සිය මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 5 ක් දවාගත් ශ්‍රී ලාංකිකයන් අතරට නිශාන් පීරිස් ද එක්විය. 

මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 5 ක් බැගින් දවාගත් ශ්‍රී ලාංකික පන්දු යවන්නන් අතර හත්වැනියා වන නිශාන් පීරිස්, පාසල් ක්‍රීඩකයකුව සිටියදීම ජාතික තේරීම් කමිටු නිලධාරීන්ගේ අවධානයට ලක්වූ අයෙකි. එහෙත් නිශාන් පීරිස් හා සම වයස් කාණ්ඩයේ සිටින (1997 - 1998 වර්ෂ වල උපන්) චරිත් අසලංක සහ සම්මු අෂාන් දෙදෙනාම පිට දඟ පන්දු යවන්නන් වීමට අමතරව ඉදිරිපෙළ පිතිකරුවන් ද වූයෙන් 2016 දී ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව නිශාන් පීරිස්ගෙන් ගිළිහී ගියේය. 

එහෙත් පසුව දිගින් දිගටම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් හොඳින් පන්දු යවමින් සිටි නිෂාන් පීරිස් මෙම තරගය සඳහා ගෙන්වාගත්තේ දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් සිටියදීය. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ඉනිමක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.