Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට එරෙහිව වේල්සයට නිතරග ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව වේල්සයට නිතරග ජයක්

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්වීඩනයේදී පැවැත්වෙන ලෝක මේසපන්දු ශූරතාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් හදිසියේ අසනීප වීමත්, ඇය වෙනුවට ආදේශ කිරීම සඳහා අතිරේක ක්‍රීඩිකාවක් නොමැති වීමත් නිසා ශ්‍රී ලංකාව සහ වේල්සය අතර පැවැති තරගයේදී වේල්සයට නිතරග ජයක් හිමිවිය.

රොහාන් සිරිසේන

ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී දැනගත හැකි වූයේ ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ කඹ ඇදීමක් හේතුවෙන් මෙම තරගාවලිය සඳහා තේරුණ ක්‍රීඩකයන් දෙදෙනකුට සහ ක්‍රීඩිකාවකට ඊට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි.

අදාල තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා තේරීම් තරගාවලියක් පවත්වා ඇති අතර ඒ සඳහා ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනා බැගින් කැඳවා ඇත. තේරීම් තරගාවලියට පැවැත්වීමට පෙර ඉන් තෝරාගනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය පෞද්ගලික වියදමෙන් තරගාවලියට සහභාගි විය යුතු බව මේසපන්දු සංගමයෙන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පවසා තිබේ.

මේසපන්දු සංගමයේ එම ප්‍රකාශය හේතුවෙන් තේරීම් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 8 දෙනෙක් සහභාගි වුවත්, ඊට සහභාගි වී ඇත්තේ ක්‍රීඩිකාවන් සිවුදෙනෙක් පමණකි. ස්වීඩයට යෑමට සහ ඒමට මෙන්ම සතියකට වැඩි කාලයක් ස්වීඩනයේ රැදී සිටීමට සහ ආහාර පාන සඳහා වැය වන මුදල ඉහළ අගයක් ගන්නා බැවින් ඇතැම් ක්‍රීඩිකාවන් තේරීම් තරගාවලියට සහභාගි වීමෙන් වැලකී සිට ඇතැයිද පසුව වාර්තා විය. ඒ අනුව සිය පෞද්ගලික වියදමෙන් හෝ තරගාවලියට සහභාගි වීමට කැමති ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම් තරගාවලියට සහභාගි වී ඇත.

කෙසේ වුවත් තේරීම් තරගාවලිය අවසානයේ ක්‍රීඩකයක් 5 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් සිවුදෙනෙක් ලෝක ශූරතාවලියට තෝරා ගැනුණද, ක්‍රීඩා අමාත්‍යංශයෙන් ගුවන් ප්‍රවේශපත් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා මේසපන්දු සංගම යවා ඇත්තේ එම ක්‍රීඩකයන් අතරින් පළමු ක්‍රීඩකයන් තිදෙනාගේ සහ ක්‍රීඩිකාවන් තිදෙනාගේ නම් පමණි.

ඒ අනුව සෙසු ක්‍රීඩකයන් දෙදෙනාට සහ ක්‍රීඩිකාවට තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ. ඒ සම්බන්ධයෙන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා මේසපන්දු සංගමයෙන් කරුණු විමසා ඇති අතර එහිදී සංගමයේ නිලධාරීන් පවසා ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශය ගුවන් ප්‍රවේශපත් ලබාදීමට එකඟ වූයේ ක්‍රීඩකයන් තිදෙනෙක් සහ ක්‍රීඩිකාවන් තිදෙනෙක් සඳහා පමණක් බවයි.

උදය රණසිංහ

අනතුරුව අසාධාරණයට ලක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය දැනුවත් කර තිබුණ අතර එහිදී ඔවුන්ට දැනගත හැකි වී ඇත්තේ මේසපන්දු සංගමයෙන් අමාත්‍යංශය වෙත යවා ඇත්තේ ක්‍රීඩකයන් තිදෙනකුගේ සහ ක්‍රීඩිකාවන් තිදෙනකුගේ නම් පමණක් බවත්, යම් හෙයකින් තරගාවලියට සඳහා තේරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනාගේම නම් අමාත්‍යංශට වෙත යවා තිබුණේ නම් ඔවුන්ට අමාතංශයෙන් ගුවන් ප්‍රවේශපත් ලබාගැනීමට හැකියාව තිබූ බවයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යංශ නිලධාරියා ඔවුන්ට පවසා ඇත්තේ ලෝක මේසපන්දු ශූරතාවලියට සහභාගි වන කණ්ඩායමට අවසර ලබාගැනීම සඳහා මේසපන්දු සංගමයෙන් අමාත්‍යංශය වෙත එවන ලද ලිපියේද සඳහන් වී තිබුණේ ක්‍රීඩකයන් තිදෙනකුගේ සහ ක්‍රීඩිකාවන් තිදෙනකුගේ නම් පමණක් බවයි.

කෙසේ වුවත් අවසානයේ එහි ප්‍රතිඵලය වූයේ තේරීම් තරගාවලියේදී සුදුසුකම් ලබාගත් ක්‍රීඩකයන් දෙදෙනකුට සහ ක්‍රීඩිකාවකට ලෝක මේසපන්දු ශූරතාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමි වීමයි. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයේදී වේල්සයට නිතරඟ ජයක් හිමිවීම එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය.

තෙවැනි කොටස යටතේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක ඊයේ (2 වැනිදා) පිළිවෙලින් නවසීලන්තයට සහ මාලදිවයිනට එරෙහිව මූලික වටයේදී ඔවුන් මුහුණදෙන අවසන් තරග දෙකට ක්‍රීඩා කිරීමට නියමිතව සිටියේය.

මූලික වටයේ මෙතෙක් පැවැති තරගවලදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මෙක්සිකෝව හමුවේ තරග 3-0 කින්ද, දකුණු අප්‍රිකාව හමුවේ තරග 3-2 කින්ද, උස්බෙකිස්තානය හමුවේ තරග 3-1 කින්ද, කොංගෝ රාජ්‍ය හමුවේ තරග 3-2 කින්ද පරාජයට පත් විය. ඒ ඒ රටවලට එරෙහිව පැවැති සමස්ත තරග වට පරාජයට පත්වුවද, එහිදී උදය රණසිංහ සහ රොහාන් සිරිසේන තරග 2 බැගින්ද, ක්‍රිෂාන් වික්‍රමරත්න එක් තරගයක්ද ජය ගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙතෙක් පැවැති තරගවලදී නොර්වේ රාජ්‍ය හමුවේ තරග 3-0 කින්ද, බොස්නියාව හමුවේ තරග 3-1 කින්ද පරාජයට පත් විය. වේල්සයට එරෙහිව පැවැති තරගයට සහභාගි නොවූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයෙන් නිතරඟ ජයක් ලැබීය. එම තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් තරගයක් හෝ ජයගැනීමට සමත් වූයේ ඉෂාරා මධුරංගි පමණි.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට එරෙහිව වේල්සයට නිතරග ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.