Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ලකුණු 516 ක දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 516 ක දැවැන්ත ඉලක්කයක්

රොෂාන් ගුණරත්න - 2019 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කැන්බෙරාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (3 වැනිදා) තරගය නතර කරනවිට ජයග්‍රහණය සඳහා ලකුණු 516 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිමට කිසිවකු නොදැවී ලකුණු 17 රැස්කර සිටියේය.

කඩුලු 10 ක් අතැති ශ්‍රී ලංකාවට තවත් ලකුණු 499 ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට අවශ්‍ය අතර ඒ සඳහා තවත් දවස් 2 ක් ඉතිරිව ඇත.

දිමුත් කරුණාරත්න ලකුණු 8 ක් සහ ළහිරු තිරිමාන්න ලකුණු 8 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.

දෙවැනි ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 196 ක් රැස්කළ ඕස්ට්‍රේලියාව උස්මාන් කවාජා ශතකය ලබාගැනීමත් සමගින් ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය. 

මෙම තරගයේදී ශතකයක් රැස්කළ සිවුවැනි ඕස්ට්‍රේලියානු බවට පත්වූ උස්මාන් කවාජා සිය 8 වැනි ටෙස්ට් ශතකය රැස්කිරීමට සමත්විය. පන්දු 136 කට මුහුණදුන් කවාජගේ ඉනිමට හතරේ පහර 14 ක් ඇතුළත් විය.

පළමු ඉනිමේදී ශතකයත් ලබාගත් ට්‍රැවිස් හෙඞ් දෙවැනි ඉනිමේදීද නොදැවී අර්ධ ශතකයක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකවූ අතර උස්මාන් කවාජා සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 159 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ඔහු සමත්විය.

තේ පානයට තරගය නතර කරනවිට ලකුණු 67 කට කඩුලු 3 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියානුවන්ට පීඩනයක් ඇති කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුවද තේ පානයෙන් පසුව පිතිකරුවන්ට පීඩනයක් එල්ල කිරීමට ඔවුන් අපොහොසත් වූහ.

තේ පානයෙන් පසුව ඉනිම අත්හිටුවන තෙක් කාළය තුළ කඩුල්ලක් ලබානොදුන් ඕස්ට්‍රේලියානුවෝ වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවෙමින් ලකුණු 129 ක් රැස්කිරීමට සමත්වූහ.

දෙවැනි ස්ලිප්හී පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ ආරම්භක පිතිකරුවන් දෙපළ ලකුණු 25 ත් තුල පිටියෙන් ඉවත් කිරීමට කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු සමත්වූහ.

ඕස්ට්‍රේලියානු ඉනිමට තවත් ලකුණු 12 ක් එක්වන විටදී මානස් ලබුස්චේන් ලකුණු 4 කට දවාගනිමින් ශ්‍රී ලංකාවට යම් සහනයක් ගෙන දීමට කසුන් රාජිත සමත්විය.

පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් සියලුදෙනා දැවී පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාවට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 215 ක් පමණි.
පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කිරීමට
ඕස්ට්‍රේලියාවට අවස්ථාව තිබුනද කැන්බෙරාහි පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් පන්දු යවන්නන්ට විවේකයක් ලබාදීමට සඳහා දෙවැනි වරටත් පන්දුවට පහරදීමට තීරණය කළ ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 319 ක් ඉදිරියෙන් සිටියේය.

දෙවැනි දිනයට ඊයේ (2 වැනිදා) තරගය අවසන් කරනවිට පළමු ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී ලකුණු 123 ක් රැස්කරගෙන සිටි ශ්‍රී ලංකාව අද දිනයේදි ලකුණු 92 ක් තුළ කඩුලු 6 ක් අහිමිකර ගත්තේය. පන්දුවක් වැදීමෙන් අබාධයකට ලක්වූ කුසල් පෙරේරා නැවත පන්දුවට පහරදීමට නොපැමිණියේය.

ජේයි රිචඞ්සන්ගේ පන්දුවක් හෙල්මට් එකේ වැදීමෙන් තරමක අපහසුතාවයෙන් පෙළුණු කුසල් පෙරේරා එම අවස්ථාවේ වෛද්‍ය උපදෙස් ලබාගත්තද ඕවරයක් පමණ පන්දුවට පහරදීමෙන් අනතුරුව පිටියෙන් ඉවත් විය.

කුසල් පෙරේරා පිටියෙන් ඉවත්වීමත් සමගින් ඊයේ දිනයේදී පන්දුවක් වැදීමෙන් ආබාධයට ලක්වූ දිමුත් කරුණාරත්න නැවත පන්දුවට පහරදීමට පිටියට පිවිසියේය.

එකම ඕවරයේ දෙවැනි සහ පස්වැනි පන්දු වලදී ධනංජය ද සිල්වා සහ දිමුත් කරුණාරත්න පිටියෙන් ඉවත් කිරීමට මිචෙල් ස්ටාර්ක් සමත්වීමත් සමගින් ශ්‍රී ලංකාව දැඩි අසීරූ තත්වයකට පත්විය.

ටෙස්ට් තරගයදී බහුලව සිදුනොවන ආකාරයේ අවාසනාවන්ත සිදුවීමකින් ධනංජය ද සිල්වා ලකුණු 25 කට දැවී ගියේය. මිචෙල් ස්ටාර්ක්ගේ කෙටි පන්දුවකට පුල් පහරක් ගැසීමෙන් අනතුරුව පිත්ත කඩුල්ලේ වැදීමෙන් ධනංජය ද සිල්වාවට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

ඊයේ පිටියෙන් ඉවත්වන විට ලකුණු 46 ක් ලබාගෙන සිටි දිමුත් කරුණාරත්න සිය 22 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට අද සමත්විය. මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවක් හමුවේ කර්ටිස් පැටර්සන් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 59 ක් රැස්කර සිටි දිමුත් කරුණාරත්න පිටියෙන් ඉවත්විය.

ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණුක් එක්වන විට මංගල තරගයට ක්‍රීඩාකරන චාමික කරුණාරත්න ලකුණු ලබාගැනීමට ප්‍රථම පිටියෙන් ඉවත් කිරීමට නේතන් ලයන් සමත්විය. චාමික කරුණාරත්නට මුහුණදීමට හැකිවූයේ පන්දු 5 කට පමණි.

ලකුණු 182 කට කඩුලු 6 ක් දැවී තිබියදී නිරෝෂන් දික්වැල් සහ ඩිල්රුවන් පෙරේරා එක්ව හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 33 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූ අතර මානස් ලැබුස්චේන්ගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම හේතුවෙන් එම සම්බන්ධතාවයට තිත තැබුණි.

ප්‍රධාන විනිසුරුගේ තීරණය සමගින් එක්ඟ නොවූ දික්වැල්ල විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට තීරණය කළ අතර පුණරූපන නැරඹූ තෙවැනි විනිසුරු විසින් ප්‍රධාන විනිසුරුගේ තීරණය පිළිබඳව සෑහිමතකට පත්වෙනිම් දැවීයාමක් ලෙස තීරණය කළේය.

දික්වැල්ලගේ දැවීයාමත් සමගින් දිවා ආහාරය සඳහා තරගය නතර කළේය. දිවා ආහාරයෙන් පසුව පන්දු 8 ක් තුළ ඩිල්රුවන් පෙරේරා සහ විශ්ව ප්‍රනාන්දු දවාගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් කිරීමට මිචෙල් ස්ටාර්ක් සමත්විය. විශ්ව ප්‍රනාන්දු දවාගැනීමත් සමගින් කඩුලු 5 සම්පූර්ණ කිරීමදට ස්ටාර්ක් සමත්විය.

 

ඡායාරූප - ඒ.එෆ්.පී ඇසුරෙනි


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 516 ක දැවැන්ත ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.