Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 6 දෙනාගේ වටයට

ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 6 දෙනාගේ වටයට

editorial - 2023 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 
(ශානුක අරවින්ද) 
 
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර අද (27 වැනිදා) බුලවායෝහිදී පැවැති තරගයෙන් ලකුණු 82 ක පහසු ජයක් ලැබූ ශ්‍රී ලංකාව, අපරාජිත බව රැකගෙනම සුපිරි 6 දෙනාගේ වටයට පිවිසීමට අවස්ථාව උදාකර ගත්තේය. 
 
ජයග්‍රහණය සඳහා ලකුණු 246 ක ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්තයට ඕවර 29 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 163 ක් පමණි. තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් ග්‍රේව්ස් පන්දු 41 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 56 ක් රැස්කරමින් හුදෙකලා සටනක නිරත වූවද, සෙසු පිතිකරුවන්ගෙන් සහායක් නොලැබීම නිසා ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 
 
ඕවර 21 ක් අවසානයේ ලකුණු 100 කට කඩුලු 8 ක් දවාගනිමින් ස්කොට්ලන්ත කණ්ඩායම අසීරු තත්වයකට ඇද දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් ක්‍රිස් සෝල් (17) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ග්‍රේව්ස්, සිය කණ්ඩායමට යළිත් ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවේය. කෙසේ වුවත් අවසන් පිතිකරුවන් දෙදෙනාම දුවද්දී දැවී යෑම්වලට හසුවීම හේතුවෙන් එම බලාපොරොත්තු බිඳ වැටිණ. 
 
සිය ඕවර 10 ලකුණු 41 කට සීමා කරමින් ස්කොට්ලන්ත නායක රිචී බෙරින්ටන්ගේ කඩුල්ලද සමග කඩුලු 3 ක් දවාගත් මහීෂ් තීක්ෂණ තරගයේ වීරයා බවට පත් විය. එහිදී ඔහුට අනගි සහායක් දුන් වනිඳු හසරංග ලකුණු 42 කට කඩුලු 2 ක්ද, කසුන් රාජිත සහ ළහිරු කුමාර එක් කඩුල්ල බැගින්ද බිඳහෙළුහ. 
 
පිටම ඉනිම් 5 කදී අර්ධ ශතක 4 ක් සහ ශතකයක් ලබා සිටි ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න, මෙම තරගයේදී ක්‍රිස් සොල්ගේ පන්දුවක් හමුවේ ලකුණු 7 කට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 34 කට සීමා කරමිනි. තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ද, සොල්ගේම පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 16 කට මුහුණ දෙමින් ලබා සිටියේ එක් ලකුණක් පමණි. 
 
ලකුණු 43 කට කඩුලු 2 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වෙමින් සදීර සමරවික්‍රම (26) සමග තෙවැනි කඩුල්ලට ලකුණු 55 ක්ද, චරිත් අසලංක (63) සමග සිවුවැනි කඩුල්ලට ලකුණු 44 ක්ද එක් කිරීමට සෙසු ආරම්භක පිතිකරුවා වූ පැතුම් නිස්සංක (75) සමත් විය. පන්දු 85 කට මුහුණදුන් පැතුම් සිය 9 වැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 10 කින් සැරසුවේය. මෙය පැතුම්ගේ 30 වැනි එක්දින ජාත්‍යන්තර තරගය වූ අතර එහිදී ලකුණු 1000 සීමාව ඉක්මවා යෑමටද ඔහු සමත් විය. 
 
පැතුම්ගේ දැවී යෑමෙන් අනතුරුව ධනංජය ද සිල්වා (23) සමග එක් වූ චරිත් අසලංක, 5 වැනි කඩුල්ල සඳහා පන්දු 66 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. කෙසේ වුවත් 8 වැනි පන්දු යවන්නා ලෙස පන්දු යැවීමට පැමිණ ඕවර 6.3 ක් යැවූ ක්‍රිස් ග්‍රේව්ස්, ලකුණු 32 කට කඩුලු 4 ක් බිඳහෙළමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමුවේය. 
 
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 42 ක් තුළ බිඳවැටුණ අතර ඉන් 4 ක්ම ග්‍රේව්ස්ගේ ගොදුරු විය. ගුග්ලි පන්දුවකින් ධනංජයගේ කඩුල්ල බිඳදැමූ ග්‍රේව්ස්, ඉන් පසුව යවන ලද පළමු පන්දුවේදීම නායක දසුන් ශානක දවාගනු ලැබුවේ ඔහු ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙරාතුවය. එතැනින් නොනැවතුණ ග්‍රේව්ස්, වනිඳු හසරංග සහ ළහිරු කුමාරද පිටියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 245 කට සීමා කළේය. 
 
ලකුණු පුවරුව 
 
ශ්‍රී ලංකාව 
 
පැතුම් නිස්සංක - ඇ.තෝමස් ප.වොට් 75 
දිමුත් කරුණාරත්න - ප.සෝල්
කුසල් මෙන්ඩිස් - ඇ.මයිකල් ප.සෝල්
සදීර සමරවික්‍රම - ඇ.මයිකල් ප.එවන්ස් 26 
චරිත් අසලංක - ඇ.මැතිව් ප.වොට් 63 
ධනංජය ද සිල්වා - ප.ග්‍රේව්ස් 23 
දසුන් ශානක - ඇ.සෝල් ප.ග්‍රේව්ස්
වනිඳු හසරංග - ඇ.සෝල් ප.ග්‍රේව්ස් 15 
මහීෂ් තීක්ෂණ - නොදැවී  16
කසුන් රාජිත - ක.මු. කළා ප.වොට්
ළහිරු කුමාර - ඇ.සෝල් ප.ග්‍රේව්ස් 5
අතිරේක 13
එකතුව ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 245 
 
කඩුලු වැටීම : 
1-34(දිමුත්), 2-43(කුසල්), 3-98(සදීර), 4-142(පැතුම්), 5-203(ධනංජය), 6-203(දසුන්), 7-207(අසලංක), 8-223(වනිඳු), 9-228(රාජිත), 10-245(ළහිරු) 
 
පන්දු යැවීම : 
ක්‍රිස් සොල් 10-1-46-2, බ්‍රැන්ඩන් මැක්මුලන් 5-0-19-0, ජැක් ජාවිස් 3-0-15-0, ඇලස්ඩෙයාර් එවන්ස් 7-0-35-1, ක්‍රිස්ටෝපර් මැක්බ්‍රයිඩ් 2-0-13-0, මාක් වොට් 10-0-52-3, මයිකල් ලීසක් 6-0-30-0, ක්‍රිස් ග්‍රේව්ස් 6.3-0-32-4 
 
ස්කොට්ලන්තය 
 
ක්‍රිස්ටෝපර් මැක්බ්‍රයිඩ් - ඇ.දසුන් ප.වනිඳු 29
මැත්ව් කෘස් - ප.ළහිරු 7
බ්‍රෙැන්ඩන් මැක්මුලන් - ප.තීක්ෂණ 5
රිචී බෙරින්ටන් - ඇ.ධනංජය ප.තීක්ෂණ 10
තෝමස් මැකින්ටොෂ් - ක.මු. කළා ප.රාජිත 3
මයිකල් ලීසක් - ක.මු. කළා ප.ශානක 5
ක්‍රිස් ග්‍රේව්ස් - නොදැවී 56
මාක් වොට් - ක.මු. කළා ප.වනිඳු 14
ජැක් ජාවිස් - ක.මු. කළා ප.තීක්ෂණ 0
ක්‍රිස් සෝල් - දුවද්දී දැවී ගියා 17
ඇලස්ඩෙයාර් එවන්ස් - දුවද්දී දැවී ගියා 0
අතිරේක 17
එකතුව ඕවර 29 කදී සියලු දෙනා දැවී 163
 
කඩුලු වැටීම : 
1-14(මැතිව්), 2-38(බ්‍රෙැන්ඩන්), 3-55(රිචී), 4-60(තෝමස්), 5-73(ක්‍රිස්ටෝපර්), 6-74(මයිකල්), 7-99(මාක්), 8-100(ජැක්), 9-155(ක්‍රිස්), 10-163(ඇලස්ඩෙයාර්)    
 
පන්දු යැවීම : 
කසුන් රාජිත 5-0-25-1, ළහිරු කුමාර 5-0-30-1, මහීෂ් තීක්ෂණ 10-0-41-3, වනිඳු හසරංග 6-0-42-2, දසුන් ශානක 1-1-0-1, ධනංජය ද සිල්වා 2-0-18-0 

අදහස් (1)

ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 6 දෙනාගේ වටයට
  • Cccccc Wednesday, 28 June 2023 04:07 PM

    ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට සියලු තරග ජය ගැනීමට ශක්තිය ලැබේවා...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.