Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව අවසන් තරගයෙන් ඉවතට
බංගාබන්දු කුසලාන

ශ්‍රී ලංකාව අවසන් තරගයෙන් ඉවතට

editorial - 2022 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අවසන් පූර්ව වටයේදී කෙන්යාව හමුවේ ලකුණු 49–29 කින් පරාජය වීම නිසා බංග්ලාදේශයේ ඩකා නුවරදී දැන් පැවැත්වෙන ‘බන්ගබන්දු’ කුසලාන අන්තර්ජාතික කබඩි (පිරිමි) තරගාවලියේ අවසන් මහ තරගයට ප්‍රවේශවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහුනි.

මෙම අවසන් පූර්ව තරගය අද (23 වැනිදා) පැවැත්වුණි.

බංග්ලාදේශයේ ඩකා නුවරදී රටවල් අටක සහභාගිත්වයෙන් පැවැත්වෙන බන්ගබන්දු කුසලාන කබඩි තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ ලකුණු 44–19 කින් ද හා මලයාසියාව හමුවේ ලකුණු 53–26 කින් ද ජයග්‍රහණ දෙකක් ලැබීය. එසේ වුවත් එහිදී ශ්‍රී ලංකාව සත්කාරක බංග්ලාදේශය හමුවේ තියුණු සටනකින් පසුව ලකුණු 40–38 කින් පරාජය විය.

එහිදී විශේෂත්වය වූයේ පරාජිත ශ්‍රී ලංකා කණ්ඩායමේ අස්ලාම් සාජා තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමය. තරගයක පරදින කණ්ඩායමෙන් එහි දක්ෂතම ක්‍රීඩකයා තෝරා ගැනීම දුර්ලභ අවස්ථාවකි. කෙසේ වුවත් මූලික වටයේදී ශ්‍රී ලංකාව සත්කාරක රාජ්‍යයට පැරදුණත් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ඒ වන විටත් හිමිකර ගෙන තිබුණි.

 ‘බන්ගබන්දු’ කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගත් ප්‍රතිඵලය ගැන අදහස් දැක්වූ ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා පැවසූවේ ක්‍රියාත්මක වෙමින් පැවැති ජාතික කබඩි (පිරිමි) සංචිතයේ කල් ගෙවූ බහුතරයක් වන ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩකයන් එය හැර දමා ගොස් සිටි අවස්ථාවකදී දින 10 ක් පුහුණුවක් පමණක් ලැබූ නවක ක්‍රීඩකයන් බහුතරයකගෙන් සමන්විත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් පිළිබඳව කබඩි සම්මේලනය සෑහීමට පත්වන බවයි.

වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම් ක්‍රීඩකයන් අතරින් 12 දෙනකුගේම පළමු ජාත්‍යන්තර තරගය බවට පත්වූයේද මෙම තරගාවලියේ තරග බැවින් ඒ පිළිබඳව කබඩි සම්මේලනයට සතුටු විය හැකි බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.

මේ අතර ඉරානයේ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ලැබී තිබෙන ආරාධනාවක් අනුව ‘බන්ගබන්දු’ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ද ඇතුළත් කර ගනිමින් අළුතින් විවෘත තේරීම් තරගාවලියක්  අප්‍රේල් 6 වැනිදා පෙරවරු 9.00 ට ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ පිටියේදී පැවැත්වීමට කබඩි සම්මේලනය තීරණය කර තිබේ.

 එහිදී එදින දහවල් 12 ට ජාතික කබඩි (කාන්තා) සංචිතය අළුතෙන් ස්ථාපිත කිරීම සඳහා ක්‍රීඩිකාවන් වෙනුවෙන් තවත් විවෘත තේරීම් තරගයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ සඳහා දැනට ජාතික කබඩි (කාන්තා හා පිරිමි) සංචිත හැරගොස් සිටින ත්‍රිවිධ හමුදාවන්ට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද සහභාගි විය හැකිය.

‘බන්ගබන්දු’ කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය හෙට (24) පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

ශ්‍රී ලංකාව අවසන් තරගයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.