Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව-ඉන්දියාව රන් පදක්කම් අතර පෙරමුණේ

ශ්‍රී ලංකාව-ඉන්දියාව රන් පදක්කම් අතර පෙරමුණේ

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රටවල් හතක් තරග වැදුණත් කොළඹ සුගතදාස පිටියේදී ඊයේ (6) නිමාව දුටු තෙවැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම් මේසයම ඉන්දියාව හා ශ්‍රී ලංකාව විසින් අත් කර ගනු ලැබීය.

තරගාවලියේ වාර්තා වූ නව වාර්තා 21ක් එම දෙරටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් පිහිටුවීමට සමත් වීමත් එහිදී කැපී පෙනුණු තවත් විශේෂිතම සිදුවීමකි.

කෙසේ වුවත් මෙම තරගාවලිය ඉතිහාසයේ රන් පදක්කම් හා නව වාර්තා මෙතෙක් පිහිටුවීමට සමත්ව සිටින්නේ මෙම දෙරටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් වීමත් කැපී පෙනේ. වසර පහකට පසුව පැවැති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව වැඩිම රන් පදක්කම් ගණනක් (12) මෙන්ම වැඩිම පදක්කම් ගණනක් (41) දිනා ගත්තේද මෙවර තරගාවලියේ දී ය.

වසර 2007 කොළඹ සත්කාරය දැරූ තරගාවලියේ දී හා 2013 ‘රංචි’ තරගාවලියේදී ශ්‍රී ලංකාව පිළිවෙළින් දිනාගත් රන් පදක්කම් ගණන 08ත් 10කි. තරගාවලිය ජයගත් ඉන්දියාව වසර 2013 දී හිමිකරගත් රන් පදක්කම් ගණන (20) මෙවරත් රැකගෙන සිටියත් වසර 2007 කොළඹ තරගාවලියේදී ඔවුන් රන් පදක්කම් 21ක් දිනාගැනීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් මෙවර තරගාවලියේදී වඩාත්ම ඉහළ අගයක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල දත්ත සටහන්කරු හා ජාතික මලල ක්‍රීඩා තේරීමේ කමිටුවේ හිටපු සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.

එහිදී නව තරග වාර්තාවක් පිහිටුවමින් මීටර් 100 (කාන්තා) ඉසව්ව ජය ගනිමින් දකුණු ආසියාවේ කනිෂ්ඨ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා අමාෂා ද සිල්වා (තත්ත්පර 11.92) සමත්වූවාය.

මීටර 400 තත්ත්පර 46.55 කට නව තරග වාර්තාවක් පිහිටුවමින් ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක අනුර දර්ශන, මීටර 4×400 පිරිමි රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම (අරුණ දර්ශන, පී.එම්.අයි. කොඩිකාර, රිවිෂ්ක ඉන්ද්‍රජිත්, පබසර නිපුන්) මීටර 800 (කාන්තා) ඉසව්ව ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකා දිල්ෂි ශ්‍යාමලී කුමාරසිංහ, එහි පිරිමි රන් පදක්කම දිනාගත් ඩී.එම්.එච්.එස්. කරුණාරත්න යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් පැවැති (2017) ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ එම ඉසව්හි ලෝකඩ පදක්කමට කිට්ටු වූ තරම් දක්ෂතාහි අගයක් ගත්තේය.

මීටර 4×400 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විනාඩි 3 තත්ත්පර 43.33 කට නව වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනාගත්තේය. අමාෂා ද සිල්වා, අචිනි දිව්‍යාංජලී, දිල්ෂි ශ්‍යාමලී කුමාරසිංහ හා ඉෂාරා අත්තිඩිය ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී නියෝජනය කළහ.

නව වාර්තා 21ට අමතරව පැරණි වාර්තාව අභිබවා ගිය අවස්ථා 12ක්ද එම දෙදිනදී කොළඹ සුගතදාස පිටියේ නව ධාවන පථය හා නව පිටියේ ඉසව් ප්‍රදේශයේ දී වාර්තා විය. එසේ පැරණි වාර්තාව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතින් අභිබවා ගිය අවස්ථා ගණන තුනකි.

මීටර 400 (පිරිමි) ඉසව්වෙන් පී.එම්.පී.එල්. කොඩිකාර (තත්ත්පර 46.99), එම ඉසව්වෙන් පබසර නිකූ (තත්ත්පර 47.43), මීටර 400 (කාන්තා) ඉසව්වෙන් තාරකා දිව්‍යාංජලී (තත්ත්පර 56.07) එම පැරණි වාර්තා අභිබවා යමින් දස්කම් දැක්වූවෝ වෙති.

 

 

එස්. අරුණ දර්ශන (මීටර 200)

ශ්‍යාමලී කුමාරසිංහ (මීටර 800)

පී.එම්.පී.එල්. කොඩිකාර  (මීටර 400x4)

ඩී.එම්.එච්.එස්. කරුණාරත්න  (මීටර 800)

 

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

ශ්‍රී ලංකාව-ඉන්දියාව රන් පදක්කම් අතර පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.