Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව පරාජය කරමින් පාකිස්තානය අවසන් සටනට

ශ්‍රී ලංකාව පරාජය කරමින් පාකිස්තානය අවසන් සටනට

editorial - 2023 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති අතර එහිදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව 60 ක ජයක් ලැබූ පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 323 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ඕවර 45.4 ක් ආවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 262 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අර්ෂද් ඉක්බාල් ලකුණු 37 කට කඩුලු 5 ක් දවාගත් අතර සුෆියාන් මුකීම් සහ මුබාසිර් ඛාන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

මුල් පෙළ පිතිකරුවන් තිදෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යද්දී, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ අවිෂ්ක ප්‍රනාන්දු (97) සහ සහන් ආරච්චිගේ (97) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 127 කදී ලකුණු 128 ක සමබන්ධතාවක් ගොඩනැගූහ. කෙසේ වුවත් සෙසු පිතිකරුවන්ගේ සහාය නොලැබීම හේතුවෙන් ඔවුන්ට ඉලක්කය හඹා යෑමට නොහැකි වූහ.

පන්දු 85 කට මුහුණදුන් අවිෂ්ක හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 109 කදී වාර්තා වූ සහන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 12 ක් අන්තර්ගත විය. අවිෂ්කගේ දැවී යෑමෙන් අනතුරුව නායක දුනිත් වෙල්ලාලගේ (14) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක් එක් කිරීමට සහන් සමත් වුවද, ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 322 ක් රැස්කළ අතර එහිදී ඔමේර් යූසෆ් (88) සහ නායක මොහොමඩ් හාරිස් (52) අර්ධ ශතක ලබාගත්හ. පන්දු 79 කදී වාර්තා වූ යූසෆ්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 10 කින්ද, පන්දු 43 කදී වාර්තා වූ හාරිස්ගේ ඉනිම හතරේ පහර 5 කින්ද සමන්විත විය.


පාකිස්තාන ‘ඒ’ පිල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 322  
(සයිම් අයුබ් 22, ඔමේර් යූසෆ් 88, ටයාබ් තාහීර් 26, මොහොමඩ් හාරිස් 52, මුබසිර් ඛාන් 42, මොහොමඩ් වසීම් 24, ළහිරු සමරකෝන් 42/2, චාමික කරුණාරත්න 55/2, ප්‍රමෝද් මධුෂාන් 56/2)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල - ඕවර 45.4 කදී සියලු දෙනා දැවී 262
(අවිෂ්ක ප්‍රනාන්දු 97, සහන් ආරච්චිගේ 97, අෂේන් බණ්ඩාර 17, දුනිත් වෙල්ලාලගේ 14, අර්ෂඩ් ඉක්බාල් 37/5, සුෆියාන් මුකීම් 44/2, මුබාසිර් ඛාන් 45/2)


අදහස් (0)

ශ්‍රී ලංකාව පරාජය කරමින් පාකිස්තානය අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.