Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව යළිත් තෙවැනි කාණ්ඩයට වැටෙයි

ශ්‍රී ලංකාව යළිත් තෙවැනි කාණ්ඩයට වැටෙයි

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‍‍ඬේවිස් කුසලාන ටෙනිස් තරග මාලාවේ ආසියා ශාන්තිකර කළාපීය II කාණ්ඩය යටතේ ඉන්දුනීසියාවට එරෙහිව පැවැති තරගාවලිය 3-1 ක් ලෙස පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවට යළිත් වරක් III කාණ්ඩය දක්වා පසුබැසීමට සිදුවිය.

වසර ගණනාවක් පුරා ආසියා ශාන්තිකර කළාපීය II කාණ්ඩයේ රැදී සිටි ශ්‍රී ලංකාව, 2016 වසරේදී  III කාණ්ඩයට ඇද වැටුණ අතර 2017 වසරේදී III කාණ්ඩයේ සම ශූරයන් බවට පත්වෙමින් මේ වසරේදී (2018) යළිත් II කාණ්ඩය යටතේ තරග වැදීමට සුදුසුකම් ලබාගත්තේය.
එසේ වුවත් මේ වසරේදී ලද පරාජය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබන වසරේදී (2019) නැවත වරක් III කාණ්ඩය යටතේ තරග වැදීමට සිදුවනු ඇත. 
 
ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ශ්‍රී ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩංගණයේදී දින දෙකක් පුරා පැවැති මෙම තරගාවලිය කේවල තරග 4 කින් සහ යුගල තරගයකින් සමන්විත විය. ඉන් පළමු කේවල තරගයේදී වට 2-1 ක් ලෙස ශාමල් දිසානායක පරාජය කළ ක්‍රිස්ටෝපර් රංග්කට්, තරග 1-0 ක් ලෙස ඉන්දුනීසියාව පෙරමුණ අත්කර දුන්නේය. 
 
කෙසේ වුවත් දෙවැනි කේවල තරගයේදී වට 2-0 ක් ලෙස ඬේවිඞ් අගුන්ග්ට එරෙහිව පහසු ජයක් ලැබූ හර්ෂණ ගොඩමාන්න, පළමු දිනය අවසානයේ තරග 1-1 ත් ලෙස තරගාවලිය සම තත්ත්වයට පත් කළේය. 
 
දෙවැනි දිනයේදී පැවැති යුගල තරගයේදී හර්ෂණ ගොඩමාන්නට සහ ශාමල් දිසානායකට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කළ ජස්ටින් බර්කි සහ ක්‍රිස්ටෝපර් රංග්කට් 2-1 ක් ලෙස නැවතත් ඉන්දුනීසියාවට තරගාවලියේ පෙරමුණ අත්කර දුන්හ.
 
ඉන් අනතුරුව ක්‍රිස්ටෝපර් රංග්කට් සහ හර්ෂණ ගොඩමාන්න අතර පැවැති තෙවැනි කේවල තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර දෙදෙනාම වටය බැගින් ජයගැනීම නිසා තෙවැනි වටය දෙදෙනාටම ඉතා තීර්ණාත්මක වටයක් බවට පත්විය. 
 
තෙවැනි වටය ආරම්භයේ සිටම හර්ෂණ සහ රංග්කට් ඉතා ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක නිරත වූ අතර දෙදෙනාම මාරුවෙන් මාරුවට ලකුණු ලබාගනිමින් කෙසේ හෝ තරගය ජයගැනීමේ උත්සාහයක නිරත වූහ. 
 
අවසානයේදී එම වටයෙන් ලකුණු 7/6 ක තියුණු ජයක් වාර්තා කළ රංග්කට් සමස්ත තරගයේ ජය වට 2-1 ක් ලෙස තමන් සතු කරගත්තේය. එම තරගයේ ජයත් සමග තවත් කේවල තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැති තරගාවලිය තරග 3-1 ක් ලෙස ජයගැනීමට ඉන්දුනීසියාව සමත් විය. 
 
තරග ප්‍රතිඵල 
ක්‍රිස්ටෝපර් රංග්කට් (ඉන්දුනීසියාව) විසින් වට 2-1 ක් ලෙස ශාමල් දිසානායක (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/4, 4/6, 3/0) 
හර්ෂණ ගොඩමාන්න (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස ඬේවිඞ් අගුන්ග් (ඉන්දුනීසියාව) පරාජය කරන ලදි. (6/3, 6/1) 
ජස්ටින් බර්කි සහ ක්‍රිස්ටෝපර් රංග්කට් (ඉන්දුනීසියාව) සහ විසින් වට 2-0 ක් ලෙස හර්ෂණ ගොඩමාන්න සහ ශාමල් දිසානායක (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (6/4, 6/3) 
ක්‍රිස්ටෝපර් රංග්කට් (ඉන්දුනීසියාව) විසින් වට 2-1 ක් ලෙස හර්ෂණ ගොඩමාන්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/4, 4/6, 7/6) 

අදහස් (0)

ශ්‍රී ලංකාව යළිත් තෙවැනි කාණ්ඩයට වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.