Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසරකට එක හමාරකට ඉහතදී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රශ්න නම් ඕනෑවටත් වඩා තිබිණ. පුහුණුකරු කණ්ඩායම හැර ගියේය. නායකයා ඉල්ලා අස්විය. පාකිස්තානයට යන්නට බෑ කී නායකයා ඉවත් කර තවත් අයකු පත්කරනු ලැබිණ. එහෙත් ප්‍රතිඵල වෙනස් නොවීය.
“අපිට දැන් ක්‍රිකට් එපා වෙලා...අපි දැන් ක්‍රිකට් බලන්නේවත් නෑ” යයි ක්‍රීඩාලෝලීන් කීවේ ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පරාජයන් වැලකට මුහුණ දුන් බැවිනි. එහෙත් චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් පත්වී ආපසු සියල්ල ආපිට හැරුණේ ඇදහිය නොහැකි අයුරිනි.
බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් තරගාවලියත්, ටෙස්ට් තරගාවලිය මෙන්ම විස්සයි-20 තරගාවලියත් ජයගැනීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම අතහැර ගොස් සිටි කීර්තිය නැවතත් ඔවුන් සොයා ආවේය. නිදහස් කුසලාන තරගාවලියේ පළමු තරගයේදීම ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම තවත් ප්‍රබල ක්‍රීඩකයකු වන අසේල ගුණරත්නත් තුවාල ලබා සිටියදීය.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තරගයක් නැරඹීමේ නොතිත් ආශාවෙන් මඬනා ලද ක්‍රිකට් ලෝලීහු කොළඹ මේට්ලන්ඞ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය වටකරගෙන සිටි අයුරු ඊයේ දක්නට ලැබිණ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර හෙට (10 වැනිදා) පැවැත්වෙන තරගයේ සියලුම ප්‍රවේශපත් ඒ වන විටත් විකිණී හමාර වී තිබිණ. ක්‍රීඩා ලෝලීන්ට තදබදයකින් තොරව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඇතුළු වීම සඳහා හෙට පස්වරු 3.00 සිට ගේට්ටු විවර කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
මාස දෙකක් ඇතුළත සියල්ල ආපසු හැරවීමේ රහස කුමක්ද ?
“මම නිතරම කියන කතාවක් තමයි අපේ කණ්ඩායමේ දක්‍ෂතා ඕනෑ තරම් තියනවා කියන එක. ප්‍රශ්නය තිබුණේ ක්‍රීඩකයන්ගේ මනසේ. මා හිතන්නේ හතුරු (පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා) ඇවිත් හරි තැනින් ප්‍රශ්නය අල්ලා ගත්තා. එයා ක්‍රීඩකයන්ගේ මනස වෙනස් කළේ ක්‍රීඩකයන්ටම නිදහසේ හිතල වැඩ කරන්න දීමෙන්” යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පැවසීය.
නිදහස් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරගයට පෙර අද (9 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදී රුමේෂ් රත්නායක මහතා මේ බව කියා සිටියේය. රත්නායක මහතාගේ කියමනේ සත්‍යතාව මැන බැලීමට නම් ඉන්දියාවට එරෙහිව පැවති තරගයේ 12 වැනි ඕවරයේදී කුසල් ජනිත් පෙරේරා විසින් සුරේෂ් රයිනාගේ පන්දුවක් හමුවේ ගැසූ හයේ පහර දෙස හැරී බැලිය යුතුය. එය ටක්කෙටම නිවැරදිව ගැසූ නොපිට පහරක් විය.
“එතැන තියෙන්නේ බුද්ධිමත්ව හිතලා වෙනස් යමක් කිරීමයි. ඔහු ක්‍රීඩකයන්ට අවසර දුන්නේත් ඒකටමයි. කිසිවකු අසාර්ථක වෙන අවස්ථාවකදීත්...... ‘හරි, කමක් නෑ....ඒකත් ඇති. අපි ඊළඟ අවස්ථාවේදී උත්සාහ කරමු’ කියලා ඔහු කියයි” යයිද රත්නායක මහතා පැවසීය.
නිදහස් කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය මුණගැසීමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසෙන්නේ තම තමන් කෙරේ එවන් ආත්ම විශ්වාසයක් ඇතිවය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තේමා පාඨය වන්නේ දස්කම් ස්ථාවරව පවත්වා ගැනීමයි.
එවන් තත්ත්වයක් යටතේ බංග්ලාදේශයට එරෙහිව හෙට පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් එක තරගයක් පමණි. එහෙත් බංග්ලාදේශයට නම් එය පහසු අභියෝගයක් නොවේ.
බංග්ලාදේශය ‘අසරණ වී ඇතැයි’ යන යෙදුමට රුමේෂ් රත්නායක එකඟ නැත.
“ඒ ඔබලාට පෙනෙන හැටි. ඒත් මම හිතන්නේ අපි එහාට (බංග්ලාදේශයට) ගිහින් වඩාත් හොඳට සෙල්ලම් කළා කියන එකයි.....සමහර විට ඔවුන් තරමක් ගල් බොරළු සහිත පාරක යනවා වෙන්න ඇති. ඒත් අපි නම් මේ තරගය සෙල්ලමකට බාරගන්නේ නෑ”
“මට හොඳටම විශ්වාසයි ඔවුන්ට උවමනා කරන්නේ තමන් වෙනදාට වඩා වෙනස් කණ්ඩායමක් කියලා අපට පෙන්වන්නයි. ඒත් අපිත් ඒකට සූදානම්” යයිද ශ්‍රී ලංකා පිලේ හිටපු පුහුණුකරුවකුද වන පැරණි වේග පන්දු යවන්නා පැවසීය.
ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 175 ක ඉලක්කයක් හඹා ගියද තමන්ගේ පන්දු යවන්නන් දුන් ලකුණු ප්‍රමාණය තරමක් වැඩි බව පන්දු යැවීමේ පුහුණුකරුවා පිළිගනී. පන්දු යවන්නන් තම තමන්ගේ කාර්යභාරය වඩාත් හොඳින් හසුරුවාගැනීමට තවදුරටත් උගත යුතු බව ඔහු කියයි.
“අපේ පන්දු යැවීමේ අංශය තවදුරටත් දියුණු වෙන්න ඕනේ. මමත් හිතන්නේ එදා තරගයේදී අපි ලකුණු 15 ක් විතර වැඩිපුර දුන්නා. ඉන්දීය පන්දු යවන්නකු එක ඕවරයකදී දැඩි ප්‍රහාරයකට ලක්වුණාම ඔවුන් ආපසු තරගයට අවතීර්ණ වෙන්නේ කොහොමද කියලා අපිත් ටිකක් හොයලා බැලුවා...ඉගෙනගන්න ගොඩාක් දේවල් තියෙනවා” යයිද රත්නායක මහතා පැවසීය.
ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ තුන්වැනි ඕවරය යැවූ ශර්දුල් ඨාකූර් වමත් පිතිකරු කුසල් පෙරේරාගෙන් දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර ඔහුගේ ඕවරයෙන් ලකුණු 27 ක් ලබාගැනිණ. එහෙත් ඊට පසුව යැවුණු ඕවරයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ගැසිය හැකි හැකිවූයේ එකම හතරේ පහරක් පමණි.
කෙසේ වෙතත් නිදහස් කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පතුළටම වැටී සිටින බංග්ලාදේශය තරගයට පිවිසෙන්නේ තමන්ගේ උපරිම ශක්තියෙන් තරග වැදී හිස එසවීමේ අභිලාෂයෙනි. එහෙත් ඔවුන්ට තරග කිරීමට සිදුවන්නේ සුපුරුදු ශ්‍රී ලාංකිය ක්‍රිකට් රිද්මයට නැවතත් අවතීර්ණ වී සිටින කණ්ඩායමකට හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාව වන්නේ බංග්ලාදේශය තලා දැමීම නොව, තමන්ට සුපුරුදු ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යමින් එකිනෙකාගේ පෞද්ගලික දස්කම් වඩාත් ස්ථාවර මට්ටමක රඳවා ගැනීමයි. වඩාත් බුද්ධිමත් මෙන්ම නිපුණ ආකාරයෙන් තරග කිරීමයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.