Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිරිසක් යළි දිවයිනට
අබුඩාබි දහයයි-10

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිරිසක් යළි දිවයිනට

editorial - 2023 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මෙවර අබුඩාබි දයහයි-10 ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිරිසක් තරගාවලිය නිමාවීමට පෙරාතුවම යළිත් දිවයින බලා පැමිණීමට නියමිතව ඇතැයි ‘ලංකාදීප’යට වාර්තා වේ. ඔවුන් එසේ පැමිණීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ මේජර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීම සඳහාය. 

මේජර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින එස්.එස්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන අවිෂ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංකද, පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන කුසල් ජනිත් පෙරේරාද එලෙස අබුඩාබි දයහයි-10 තරගාවලිය අතරමැද යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින ක්‍රීඩකයෝ වෙති. 

මේජර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගය මෙම මස 8 වැනිදා සිට 11 වැනිදා දක්වා කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඊට සහභාගි වීම සඳහා ඉහත නම් සඳහන් ක්‍රීඩකයන් එළබෙන 6 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය. ඒ අනුව ඔවුන්ට 7 වැනිදා පැවැත්වෙන අබුඩාබි දහයයි-10 තරගාවලියේ මූලික වටයේ තරග අහිමිවන අතර ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් අවසන් පූර්ව තරගවලට සහ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද අහිමිවනු ඇත. 

අබුඩාබි දයහයි-10 තරගාවලියේදී අවිෂ්ක ප්‍රනාන්දු, දසුන් ශානක සහ කුසල් මෙන්ඩිස් බංග්ලා ටයිගර්ස් කණ්ඩායමටද, කුසල් පෙරේරා නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමටද ක්‍රීඩා කරන අතර චරිත් අසලංක චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. අබුඩාබි දයහයි-10 තරගාවලියට සහභාගිවීම හේතුවෙන් මොවුන්ට මේජර් ලීග් තරගාවලියේ මූලික වටය යටතේ පැවැති අවසන් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද අහිමි විය. 

මෙම ක්‍රීඩකයන් 5 දෙනාට අමතරව අබුඩාබි දයහයි-10 තරගාවලියේදී නිරෝෂන් දික්වැල්ල (එන්.සී.සී.) සහ චාමික කරුණාරත්න (එන්.සී.සී.) නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමටද, භානුක රාජපක්ෂ (බී.ආර්.සී.) චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමටද, දුෂාන් හේමන්ත (බී.ආර්.සී.) දිල්ලි බුල්ස් කණ්ඩායමටද, නුවන් තුෂාර (සී.සී.සී.) ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමටද, ඇන්ජලෝ මැතිව්ස් (කෝල්ට්ස්) නොදන් වොරියර්ස් කණ්ඩායමටද, බිනුර ප්‍රනාන්දු (රාගම) අබුඩාබි කණ්ඩායමටද, පැතුම් නිස්සංක (එන්.සී.සී.) බංග්ලා ටයිගර්ස් කණ්ඩායමටද ක්‍රීඩා කරති. 

දේශීය තරග බිමේන් ජාත්‍යන්තර තලය සඳහා ක්‍රීඩකයන් තෝරාගනු ලබන වැදගත්ම තරගාවලියක් වන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් කොටසේ තරග පැවැත්වෙමින් තිබියදී, ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන්ට පෞද්ගලික හිමිකාරීත්වයන් දරන කණ්ඩායම් තරග වදින (ෆ්‍රැන්චයිස් ලීග්) තරගාවලි සඳහා සහභාගි වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එම ක්‍රීඩකයන් නියෝජනය කරන ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා ප්‍රවීණයෝ දැඩි නොසතුට පළකර සිටිති. 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිරිසක් යළි දිවයිනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.