Last Update  :  2024-10-18 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලෝක කුසලානයේ එළිපත්තට
කාන්තා වි:20 ලෝක කුසලාන

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලෝක කුසලානයේ එළිපත්තට

editorial - 2024 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)  

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය. පළමු තරගයේදී මෙන්ම මෙම තරගයේදීත් පිතිකාරිණියන්ගේ පසුබෑම ශ්‍රී ලංකාවේ පරාජයට දැඩි ලෙස හේතු සාධක විය.

එහිදී ලැබූ පරාජයත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තිබූ මාර්ගය තවත් දුෂ්කර විය. දැන් ඔවුන්ට අවසන් වටයට පිවිසීම සඳහා ඉතිරිව ඇති මූලික වටයේ තරග දෙක ජයගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර සෙසු කණ්ඩායම් ඔවුන්ගේ තරග දිනන පරදින ආකාරය දෙස බලා සිටීමටද සිදුවනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 94 ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ඕවර 14.2 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී හතරේ පහර 4 ක් සමග පන්දු 38 කින් නොදැවී ලකුණු 43 ක් රැස්කළ බෙත් මූනි, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය. ලකුණු 22 ක් ලබා සිටියදී මූනි ලබාදුන් පහසු උඩ පන්දුවක් බිම දැමූ විෂ්මි ගුණරත්න, ඇයට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා කර දුන්නාය.

පළමු ඕවරයේදීම නායිකා ඇලීසා හීලිගේ කඩුල්ල බිඳ දැමූ ‍උදේෂිකා ප්‍රබෝධනී ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නාය. නොතිබූ ලකුණකට දිවයමින් සිටි ජෝජියා වැරිහැම් දුවද්දී දවාගැනීම සඳහා පන්දුව කෙළින්ම කඩුල්ල වෙත යොමු කළ කවීෂා දිල්හාරි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පීඩනය තවත් වැඩි කළාය. ‍

අධිවේගී ඕවර 6 තුළ පන්දු යැවීම සඳහා ශ්‍රී ලංකාව යොදාගත් 5 වැනි පන්දු යවන්නිය වූ සුගන්දිකා කුමාරි, තමා යැවූ තෙවැනි පන්දුවේදීම ඇලීස් පේරිගේ කඩුල්ල බිඳදැමුවාය. එහෙත් බෙත් මූනි සමග එක්ව සිවුවනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 43 ක් එක්කළ ඈෂ්ලි ගාඩ්නර් කෙමෙන් කෙමෙන් තරගයේ පාලනය ශ්‍රී ලංකාවෙන් උදුරාගත්තාය.

මුලු ලකුණු 78 ක්ව තිබියදී ඉනෝකා රණවීර යැවූ පන්දුවක් හමුවේ පොයින්ට් කළා‍පයේ සිට උඩ පන්දුවක් රැකගනිමින් ඈෂ්ලි ගාඩ්නර් පිටියෙන් ඉවත් කිරීමට හර්ෂිතා සමරවික්‍රම සමත් වූවාය. එහෙත් ඒ වන විට ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 16 ක් පමණක් බැවින් එය අශ්වයා පැන ගිය පසු ස්තාලය වසා දැමීමක් බඳු විය.

කාසි‍යේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 93 ක් ලබාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ නිලක්ෂි ද සිල්වා පන්දු 40 කින් නොදැවී ලකුණු 29 ක් රැස්කළ අතර හර්ෂිතා මාධවී පන්දු 35 කින් ලකුණු 23 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන ක්‍රීඩිකා මේගන් ස්චට් නිලකුණු ඕවරයක්ද සමග සිය ඕවර 4 ලකුණු 12 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර ශ්‍රී ලංකා පිතිකාරිණියන් මෙල්ල කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් සොෆී මොලිනෙක්ස් ලකුණු 20 කට කඩුලු 2 ක් බිඳහෙළුවාය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු සහ දෙවැනි ඕවර දෙකම නිලකුණු ඕවර බවට පත්කළ මේගන් ස්චට් සහ ඈෂ්ලි ගාඩ්නර් තෙවැනි සහ සිවුවැනි ඕවරවලදී විෂ්මි ගුණරත්න සහ නායිකා චමරි අතපත්තු ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවමින් ආරම්භයේදීම ශ්‍රි ලංකා කණ්ඩායම ඔසවා පෙ‍ාලොවේ ගැසූහ. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ සොෆී මොලිනෙක්ස්, මුලු ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 50 කින් ඉහළ යද්දී කවීෂා දිල්හාරි සහ හර්ෂිතා සමරවික්‍රමද පිටියෙන් ඉවත් කළේ ශ්‍රී ලංකාව කබලෙන් ලිපට ඇද දමමිනි.  

ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ නැංවීම සඳහා වේගවත් පහර කරා යෑමට උත්සාහගත් හසිනි පෙරේරා, ජෝජියා වැරිහැම්ගේ පන්දුවක් හමුවේ ඈෂ්ලි ගාඩ්නර් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියාය. අවසන් ඕවරය යැවීම සඳහා පන්දුව අතට ගත් මේගන් ස්චට්, එහි ‍පළමු සහ දෙවැනි පන්දුවලදී අනුෂ්කා සංජීවනී (16) සහ සුගන්දිකා කුමාරි (0) දවාගනිමින් ශ්‍රී ලංකාවට ලකුණු 100 කඩයිම පසුකර යෑමට තිබූ අවස්ථාව අහිමි කළාය.

ශ්‍රී ලංකා කාන්තා පිල

විෂ්මි ගුණරත්න - ක.මු. කළා ප.මේගන්      0

චමරි අතපත්තු - ක.මු. කළා ප.ඈෂ්ලි          3

හර්ෂිතා සමරවික්‍රම - ඇ. සහ ප.සොෆී       23

කවීෂා දිල්හාරි - ක.මු. කළා ප.සොෆී          5

නිලක්ෂි ද සිල්වා - නොදැවී                      29

හසිනි පෙරේරා - ඇ.ගාඩ්නර් ප.ජෝජියා     2

අනුෂ්කා සංජීවනී - ඇ.ජෝජියා ප.මේගන් 16

සුගන්දිකා කුමාරි - ඇ.මූනි ප.මේගන්          0

ඉනෝෂි ප්‍රියදර්ශනී - නොදැවී                     2

අතිරේක                                                 13

එකතුව ඕවර 20 දී කඩුලු 7 ක් දැවී            93

‍පන්දුවට පහර නොදුන් පිතිකාරිණියෝ :

උදේෂිකා ප්‍රබෝධනී සහ ඉනෝකා රණවීර

කඩුලු වැටීම :

1-06(විෂ්මි), 2-06(චමරි), 3-25(කවීෂා), 4-56(හර්ෂිතා), 5-65(හසිනි), 6-89(අනුෂ්කා), 7-89(කුමාරි)

පන්දු යැවීම :

මේගන් ස්චට් 4-1-12-3, ඈෂ්ලි ගාඩ්නර් 4-1-14-1, ඩාසි බ්‍රවුන් 1-0-12-0, සොෆී මොලිනෙක්ස් 4-0-20-2, ජෝජියා වැරිහැම් 4-0-21-1, එනබල් සදර්ලන්ඩ් 3-1-08-0

 

ඕස්ට්‍රේලියානු කාන්තා පිල

බෙත් මූනි - නොදැවී                                43

ඇලීසා හීලි - ප.‍ප්‍රබෝධනී                          4

ජොජියා වැරිහැම් - දුවද්දී දැවී ගියා             3

එලීස් පේරි - ප.කුමාරි                              17

ඇෂ්ලි ගාඩ්නර් - ඇ.මාධවී ප.රණවීර         12

පොයෙබ් ලිට්ච්ෆීල්ඩ් - නොදැවී                  9

අතිරේක                                                   6

එකතුව ඕවර 14.2 කදී කඩුලු 4 ක් දැවී      94

පන්දුවට පහර නොදුන් ක්‍රීඩිකාවෝ :

ටාලියා මැග්‍රාත්, එනබලන් සදර්ලන්ඩ්, සොෆී මොලිනෙක්ස්, මේගන් සච්ට් සහ ඩර්සි බ්‍රවුන්

කඩුලු වැටීම :

1-08(ඇලීසා), 2-14(ජෝජියා), 3-35(එලීස්), 4-78(ඈෂ්ලි)

පන්දු යැවීම :

උදේෂිකා ප්‍රබෝධනී 3-0-19-1, ඉනෝෂි ප්‍රියදර්ෂනී 2-0-13-0, කවීෂා දිල්හාරි 2-0-10-0, ඉනෝකා රණවීර 3-0-20-1, සුගන්දිකා කුමාරි 2.2-0-16-1, චමරි අතපත්තු 2-0-15-0


අදහස් (1)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලෝක කුසලානයේ එළිපත්තට
  • Sily point Monday, 07 October 2024 03:44 PM

    මොවුන්ටත් කාලයක් පිරිමි කන්ඩායමට හැදිලා තිබ්බ ලෙඩේ බෝවෙලා වගේ. 1. ඔළුව ඉදිමීම 2. මුදල් පිටුපස හඹා යෑම 3..විලාසිතා පිලිබඳ දැඩි ඇල්ම. ( අව් කන්නාඩි පැලඳීම නිසා උඩපන්දු අතහැරෙනවා.. බෝලෙ පේන්නේ නැහැනේ) චමරි අතපත්තු අංක 1 හෝ 2 ස්ථානයෙන් ඉවත් වී 4 හෝ 5 ස්ථානයක සිටිය යුතුයි. දිගින් දිගටම අසාර්ථක නිසා...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.