Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල 287 කට සීමාවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල 287 කට සීමාවෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණ අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙදින පුහුණු තරගයේ පළමු දිනය (7 වැනිදා) තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 287 කට සීමා කිරීමට තබ්්‍රස් ශම්සි ප්‍රමුඛ දකුණ අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූ ධනුෂ්ක ගුණතිලක (53) සහ කෞෂාල් සිල්වා (76) ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නද, ධනුෂ්ක ගුණතිලක පිටියෙන් ඉවත් කිරීමට ෂෝන් වොන් බර්ග් සමත් වීමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. වර්නන් පිලැන්දර් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ධනුෂ්කගේ අර්ධ ශතකය හතරේ පහර 9 කින් සමන්විත වී තිබිණ.

ඉන් අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා (28) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කෞෂාල් සිල්වා සමත් විය. දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් සිටියදී අනවශ්‍ය පහරක් ගැසීමට ගොස් ධනංජය දැවී ගියේ ෂෝන් වොන් බර්ග්ගේ පන්දුවක් හමුවේ ඒඞ්න් මාක්‍රම් අතට උඩ පන්දුවක් දෙමිනි.

ධනංජයගේ දැවී යෑමන් අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 9 ක් එක්වන විට කෞෂාල් සිල්වා දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට හෂීම් අම්ලා සහ ක්වින්ටින් ඩි’කොක් සමත් වූහ. පිටියෙන් ඉවත්ව යන විට කෞෂාල්ගේ අර්ධ ශතකය හතරේ පහර 9 කින් සමන්විත වී තිබිණ.

රොෂේන් සිල්වා සහ මිනෝද් භානුක ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙර පිටියෙන් ඉවත් කළ තබ්‍රේස් ශම්සි, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 174 කට කඩුලු 5 ක් බවට පත්කළේය. එහිදී රොෂේන්ගේ කඩුල්ල බිඳ දැමූ ශම්සි, භානුක දවාගත්තේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ 6 වැනි කඩුල්ල ලෙස අවිෂ්ක ප්‍රනාන්දු (9) කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට තබ්‍රේස් ශම්සි සමත් වීමත් සමග තේ පානය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. ඒ වන විට අනෙක් අන්තයේ රැදී සිටි ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 39 ක් ලබා සිටියේය.

තේ විවේකයෙන් අනරතුරව වනිඳු හසරංග (11) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමට මැතිව්ස් උත්සාහ කළද, ඩීන් එල්ගාගේ පන්දුවක් හමුවේ හෙන්රිච් ක්ලාසෙන් අතට උඩ පන්දුවක් දෙමින් වනිඳු දැවී යෑමත් සමග එම සම්බන්ධතාව ලකුණු 36 කට සීමා විය.

වනිඳු දැවී යෑමෙන් අනරතුරව තරමක වේගයෙන් ලකුණු රැස්කළ මැතිව්ස්, හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් සමග ලකුණු 92 ක් ලබා ශතකය පෙනි පෙනී සිටියදී ලුංගි නිදිගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම නිසා ඉතා වෙහෙසකර ඉනිමකින් පසුව ක්‍රීඩාගාරයට ගොස් අසුන් ගත්තේය.

මැතිව්ස්ගේ දැවීයාමත් සමග නැවත ක්‍රියාත්මක වූ තබ්‍රේස් ශම්සි ලකුණු 15 ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 2 බිඳහෙළු අතර එහිදී කසුන් මධුෂංඛ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්ද, විකුම් සංජය පන්දුව කඩුල්ලේ වැදීමෙන්ද දැවී ගියහ. ශ්‍රී ලංකා පසු පෙළ සුනුවිසුණු කර දැමී ශම්සි පළමු ඉනිම පුරා ලකුණු 45 කට දවාගත් කඩුලු සංඛ්‍යාව 5 කි.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම වෙන්වෙන් පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 17 ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුන් කඩුලු 9 ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 270 ක් පසුපසින් සිටිති. දිනය නිමාවන විට ආරම්භක පිතිකරු ඩීන් එල්ගා ලකුණු 14 ක්ද, හෂීම් අම්ලා ලකුණු 2 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

අද දිනයේදී බිඳ වැටුණ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එකම කඩුල්ල බවට පත් වූයේ ඒඞ්න් මාක්‍රම්ය. ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙරාතුවම මාක්‍රම් ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ළහිරු ගමගේ සමත් විය.

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල 287 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.