Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තරගාවලිය සම කරති

ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තරගාවලිය සම කරති

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 12 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේදී කඩුලූ 2 ක ජයක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම 1 - 1 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයට පත් කිරීමට සමත් විය.

මෙම තරගය ඩුබායි ක‍්‍රීඩාංගණයේදී අද (20) පැවැති අතර ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 285 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 49.4 කදී කඩුලූ 8 ක් දැවී සම්පූර්ණ කළහ.

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කරමින් පන්දු 44 කදී ලකුණු 47 ක් රැස් කළද ජය පෙනි පෙනී තිබියදී අවසන්  ඕවරයේදී පිටියෙන් ඉවත්ව ගියේ සහීඞ් අෆ්රීඩිගේ පන්දුවකිනි. එහෙත් අවසන්  ඕවරයේදී ලබාගත යුතුව තිබූ ලකුණු 4 ලබාගැනීමට සචිත‍්‍ර සේනානායක සමත් විය.

කෙසේ වෙතත් තරගයේ වීරයා සම්මානය තමන් සතුකරගැනීමට ඇන්ජලෝට සිය ඉනිම ප‍්‍රමාණවත් විය.

ඇන්ජලෝ මැතිව්ස් සහ නුවන් කුලසේකර හයවැනි කඩුල්ල සඳහා පන්දු 41 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් පවත්වමින් නැවතත් තරගයේ වාසිය ශ්‍රී ලංකාව වෙතට හරවා ගැනීමට සමත් වූහ. සොහෙල් තන්වීර් යැවූ ඉනිමේ 42 වැනි  ඕවරයට කුලසේකර සහ මැතිව්ස් ලකුණු 19 ක් රැස්කිරීම එහි වඩාත් කැපී පෙනෙන අවස්ථාව බවට පත්විය.

නුවන් කුලසේකර පන්දු 26 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින් වටිනා ලකුණු 32 ක් ලකුණු පුවරුවට එකතු කිරීම ජයග‍්‍රහණයට මග පෑදුණේය.
කුමාර් සංගක්කාර (58) සහ දිනේෂ් චන්දිමාල් (44) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 ක සම්බන්ධතාවක් පැවැත්වුව ද දෙදෙනාම ලකුණු 9 ක් තුළ දැවී යෑමෙන් නැවතත් ශී‍්‍ර ලංකා පිලේ ජයග‍්‍රහණය අවිනිෂ්චිත තත්ත්වයකට පත්විය.

තිලකරත්න ඩිල්ෂාන් පන්දු 48 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 40 ක් ලබා දුවද්දී දැවී යෑමට හසුවිය.  ශ්‍රී ලංකා පිලේ නව බලාපොරොත්තුව වන යොවුන් පිතිකරු කුසල් ජනිත් පන්දු 24 කදී ලකුණු 16 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේය.
 
 පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිල වෙනුවෙන් නායක මිස්බා උල් හක් පන්දු 62 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 59 ක් රැස් කිරීමට සමත් විය.

සහිඞ් අෆ්රිඩි සුපුරුදු පරිදි අවසන්  ඕවර කීපයේදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 15 කදී නොදැවී ලකුණු 30 ක් රැස්කිරීමෙන් පාකිස්තානයට ලකුණු 284 ක් දක්වා යෑමට අවස්ථාව උදාවිය. අෆ්රිඩිගේ ඉනිම හතරේ පහරකින් සහ හයේ පහර 2 කින් වර්ණවත් විය. අෆ්රිඩි සහ මිස්බා ඉනිමේ අවසන් පන්දු 29 ට ලකුණු 51 ක් රැස් කිරීම කැපී පෙනුණි.

අහ්මඞ් සෙෂාඞ් අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 140 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 124 ක් රැුස් කරමින් සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. මෙය 22 හැවිරිදි අහ්මඞ් සෙෂාඞ්ගේ සිවුවැනි එක්දින ශතකයයි.

ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා පන්දු යවමින් සිටියදී ආබාධයන්ට ලක්වී පන්දු යැවීමට නොහැකි වීම ශ්‍රී ලංකා පිලට දැඩි පාඩුවක් බවට පත්විය.  

තිසර පෙරේරා ඉනිමේ 19 වැනි  ඕවරයේ දෙවැනි පන්දුව යැවීමෙන් පසු ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් විය. එම  ඕවරයේ ඉතිරි පන්දු හතර යැවීමට දිමුත් කරුණාරත්න කැඳවීය. ඇන්ජලෝ මැතිව්ස් 17 වැනි  ඕවරයේ සිවුවැනි පන්දුව යැවීමෙන් පසුව පන්දුව රැකීමට යෑමේදී ආබාධයකට ලක්වූ අතර එම  ඕවරයේ ඉතිරි පන්දු දෙක තිසර පෙරේරා සම්පූර්ණ කළේය.

පළමු තරගයේදී වේගවත් අර්ධ ශතකයක් රැස් කළ ශජීල් ඛාන්ගේ ඉනිම ලකුණු 7 කට සීමා කරමින් ලසිත් මාලිංග පළමු කඩුල්ල දවා ගත්තේය. එම දැවී යෑම විනිසුරු තීරණය නැවත විමසීමේ ක‍්‍රමවේදයට යොමු කළ ද වෙනසක් නොවීය.

ලසිත් මාලිංග යැවූ  ඕවර 10 ට ලකුණු 78 ක් රැස්කිරීමට පාකිස්තානු පිතිකරුවෝ සමත් වූහ.    

ක‍්‍රීඩාංගණයේ පිතිකරු දර්ශන පථයක ඇති වූ දේෂයක් හේතුවෙන් විනාඩි 30 ක් පමණ ප‍්‍රමාද වී තරගය පස්වරු 5.00 ට පමණ ආරම්භ විය.

ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට පාකිස්තානු පිලට ආරාධනා කළේය.

පළමු තරගයට ක‍්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ ළහිරු තිරිමාන්නගේ ස්ථානයට දිමුත් කරුණාරත්න ද, සුරංග ලක්මාල්ගේ ස්ථානයට නුවන් කුලසේකර ද, මෙම තරගයේදී කැඳවා තිබුණි.

ළහිරු තිරිමාන්න තරගයට පෙර පැවැති පුහුණු සැසියේදී දකුණු කකුලේ වළලූකර ආබාධයකට ලක්වීම නිසා අවසන් මොහොතේ තරගයෙන් ඉවත්වීමට සිදුවිය. පළමු තරගයට ක‍්‍රීඩා කළ පාකිස්තානු පිල මෙම තරගයට ද ක‍්‍රීඩා කළේය.

දෙරට අතර තෙවැනි එක්දින තරග අනිද්දා (22) සාජා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.  

 

ලකුණු පුවරුව

තවත් ඡායාරෑප මෙතැනින්.....


අදහස් (12)

ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.