Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායමට උසස් වීමක්

ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායමට උසස් වීමක්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේදී ආසියා ශාන්තිකර කලාපීය III වැනි කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාව, එහි පළමු කණ්ඩායම් දෙක අතරට පැමිණෙමින් ලබන වසරේදී ආසියා ශාන්තිකර කලාපීය II වැනි කාණ්ඩය යටතේ තරග වැදීම සඳහා සුදුසුකම් ලබාගත්තේය.

ශ්‍රී ලංකාවේ පැවැති ආසියා ශාන්තිකර කලාපීය III වැනි කාණ්ඩයේ තරගමාලාව සඳහා රටවල් 9 ක් සහභාගි වූ අතර එහි මූලික වටය ‘ඒ’ සහ ‘බී’ ලෙස කොටස් 2 ක් යටතේ ලීග් ක්‍රමයට අනුව පැවැත්විණ.

එහිදී ‘ඒ’ කොටස යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාව ‘ඒ’ කොටසට ඇතුළත්ව සිටි සෙසු කණ්ඩයාම් වන ජෝර්දානය තරග වට 2-1 ක් ලෙසද, පැසිෆික් කලාපීය කණ්ඩායම තරග වට 2-1 ක් ලෙසද, සිරියාව තරග වට 2-1 ක් ලෙසද පරාජය කරමින් අපරාජිත කණ්ඩායමක් ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

අවසන් පූර්ව වටයේදී ‘ඒ’ කොටසේ ශූරයන් වූ ශ්‍රී ලංකාව සහ ‘බී’ කොටසේ අනු ශූරයන් වූ කටාර් රාජ්‍යය අතරත්, ‘බී’ කොටසේ ශූරයන් වූ ලෙබනනය සහ ‘ඒ’ කොටසේ අනු ශූරයන් වූ ජෝර්දානය අතරත් තරග පැවැත්විණ.

එම තරග වලිදී කටාර් රාජ්‍යය තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාවත්, ජෝර්දානය තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් ලෙබනනයත් ලබන වසරේදී ආසියා ශාන්තිකර කලාපීය II වැනි කාණ්ඩය යටතේ තරග වැදීම සඳහා සුදුසුකම් ලබාගත්තේය.

මෙම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හර්ෂණ ගොඩමාන්න, ශාමල් දිසානායක, යසිත ද සිල්වා සහ නිෂාංගන් නඩරාජා යන ක්‍රීඩකයන් ඇතුළත් වූ අතර රොහාන් ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය.

ජෝර්දානයට, පැසිෆික් කලාපීය කණ්ඩායමට, සිරියාවට සහ කටාර් රාජ්‍යයට එරෙහිව පැවැති තරග වට වලදී තමා සහභාගි වූ කේවල තරග 4 ම ජය ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට හර්ෂණ ගොඩමාන්න සමත් විය. ශාමල් දිසානායකට ජයගත හැකි වූයේ සිරියාවට සහ කටාර් රාජ්‍යයට එරෙහිව පැවැති කේවල තරග 2 පමණි. හර්ෂණ සහ ශාමල් එක්ව යුගල තරග 3 කට සහභාගි වූ අතර ඉන් තරග 2 ක් ජයගැනීමට ඔවුහු සමත් වූහ.

කණ්ඩායමට ඇතුළත්ව සිටි සෙසු ක්‍රීඩකයන් වූ යසිත ද සිල්වාට සහ නිෂාංගන් නඩරාජාට මෙම තරගාවලියේදී එකදු තරගයකට හෝ සහභාගි වීමට අවස්ථාවක් නොලැබිණ.  


අදහස් (0)

ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායමට උසස් වීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.