Last Update  :  2024-12-27 12:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිතිකරුවෝත් සටනට වදිති
ඛෙබාරා ටෙස්ට් තරගය

ශ්‍රී ලංකා පිතිකරුවෝත් සටනට වදිති

editorial - 2024 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඛෙබාරා නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානුවන් ලබාගත් ලකුණු 358 ට පිළිතුරු සොයා යන ශ්‍රී ලංකා පිතිකරුවෝ කදිම සටනක නිරතව සිටිති. තරගයේ දෙවැනි දිනය වූ අද (06 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 242 ක් ලබා සිටියේ දෙපිල අතර අවාසිය ලකුණු 116 ක් දක්වා අඩුකරමිනි.

පැතුම් නිස්සංක (89) ශතකය පෙනි පෙනී දැවී ගියද අද සවස් වනතුරුත් කඩුලු රැකගෙන සිටි ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 40) සහ කමිඳු මෙන්ඩිස් (නොදැවී 30) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් ගොඩනඟමින් සිටියහ. මේ අතරවාරයේදී සිය 37 වැනි ලකුණ ලබාගැනීමත් සමගින් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8000 සම්පූර්ණ කළ තුන්වැනි පිතිකරුවා බවට පත්විය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර මැතිව්ස්ට වඩා ඉදිරියෙන් සිටින්නේ කුමාර් සංගක්කාර (12,400) සහ මහේල ජයවර්ධන (11,814) දෙදෙනා පමණි. 

තරගය ශ්‍රී ලංකා පිලට වෙතට නැඹුරු වූයේ පැතුම් නිස්සංක සහ දිනේෂ් චන්දිමාල් (44) අතර පැවැති ලකුණු 109 ක සම්බන්ධතාවෙනි. වේග පන්දු යවන්නන්ගේ කෙළිබිමක් වන් ඛෙබාරා තණතීරුවේදී කගීසෝ රබාඩා, ඩේන් පැටර්සන් සහ මාකෝ යැන්සන් තිදෙනා එක්ව තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූහ. එහෙත් අභීතව තම කඩුලු රැකගත් නිස්සංක සහ චන්දිමාල් දෙදෙනා, ලකුණු සංඛ්‍යාවද ඉදිරියට ගෙන ගියහ. 

කගීසෝ රබාඩා පන්දු යවමින් සිටියදී, ලකුණු 22 ක් ලබා සිටි පැතුම් නිස්සංක දුන් පහසු උඩපන්දුවක් පළමු ස්ලිප් හි සිටි ඩේවිඩ් බෙඩිංග්හැම් වෙතින් ගිළිහී යන විට ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව කඩුලු 1 කට 66 ක් විය. තම දෑතේ වැදී ඉවතට පැන්න උඩපන්දුව රැකගැනීමට බෙඩිංග්හැම් සිව් වතාවක් උත්සාහ කළද නොහැකි විය. එතැන් සිට පසුපස නොබැලූ නිස්සංක සහ චන්දිමාල් දෙදෙනා ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාව 100 ඉක්මවා ගෙන ගියහ. 

නිස්සංක දැවීගියේ පූර්ව නිගමනයකින් යුතුව පහරක් ගැසීමට යාමෙනි. කේෂව් මහාරාජ් හමුවේ තම සීමාවෙන් ඉවතට පැමිණි ආරම්භක පිතිකරුවා පන්දුව මිඩ් විකට් කලාපය හරහා යැවීමට උත්සුක වූ නමුත් තණතීරුවේ පහළින් පැමිණි පන්දුව පිට ඉන්නට කඩා වැදුණේය. පන්දු 157 කට මුහුණ දී සිටි නිස්සංක දැවී යාමට පෙර හතරේ පහර 11 කින් සහ හයේ පහරකින් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට සංග්‍රාහ කළේය. 

දිවා ආහාරයට මඳ වේලාවකට පෙර දකුණු අප්‍රිකානුවෝ ලකුණු 358 කට දැවී ගියහ. කඩුලු රකින්නා වන කයිල් වර්රීන් සිය තුන්වැනි ටෙස්ට් ශතකය ලබාගනිමින් තම කණ්ඩායම ලකුණු 350 සීමාවෙන් එතෙර කළේය. පිතිකරුවන් තිදෙනකුගෙන් දකුණු අප්‍රිකානු පිලට ලකුණු 280 ක් එක්වූවද ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ පන්දු යැවීම උසස් මට්ටමක තිබිණ.

ඊයේ (5 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට දකූණු අප්‍රිකානු පිල කඩුලු 7 ක් දැවී ලකුණු 269 ක් ලබා සිටියේය. අද පෙරවරුවේදී යැවුණු 10 වැනි පන්දුවේදීම කේෂව් මහාරාජ් ලකුණු නොලබා දැවී ගියත් වර්රීන් සහ කගීසෝ රබාඩා එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් දකුණු අප්‍රිකානු පිල ඉදිරියට ගෙන ගියහ. 

කයිල් වර්රීන් තමන්ගේ කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් පන්දුවට පහර දෙද්දී කගීසෝ රබාඩා අවදානමට මුහුණ දෙමින් ලකුණු රැස්කරන්නට විය. ඔහුගේ මුල්ම ලකුණු 12 ට ඇතුළත් වූයේ හතරේ පහර 3 කි. මේ අතරවාරයේදී කයිල් වර්රීන් ද හැකි සෑම අවස්ථාවකදීම සිය පහර කරා ගියේ රබාඩා දැවී ගියහොත් පිටියේදී තමන් තනිවන බව දත් හෙයිනි. 

රබාඩා දැවී යන විට වර්රීන් ලබාසිටියේ ලකුණු 81 කි. එහෙත් එතැන් සිට සිය පිතිහරඹය වෙනස් කළ කයිල් වර්රීන්, පන්දු 6 ක් ඇතුළත ලකුණු 24 ක් ලබාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 350 සීමාවෙන් එපිටට කැඳවාගෙන ගියේය. කයිල් මුහුණ දුන් අවසන් පන්දු හයේදී ඔහුගේ ලකුණු ලබාගැනීම සටන් වූයේ 6, 1, 6, 1, 6 සහ 4 ක් ලෙසිනි. 

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා පිතිකරුවෝත් සටනට වදිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.