Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
පිතිකරුවන් හිස් එසවීම නිසා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී අද (04 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කිසිම අපහසුවකින් තොරව, ඇෆ්ඝනිස්ථානය ලකුණු 132 කින් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකර ගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලබාගත් ලකුණු 323 ට පිළිතුරු සොයා යාමේදී ඇෆ්ඝනිස්ථානු පිතිකරුවෝ ඕවර 42.1 ක් ඇතුළත ලකුණු 191 කට දැවී ගියහ.
ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනකු පිටියෙන් ඉවත් කළ ධනංජය ද සිල්වා (39/3) ඇෆ්ඝනිස්ථානු පිල පසුපසට ඇද දැම්මේය. පසුව පැමිණි වනිඳු හසරංග (42/3) ඕවර 3 ක් ඇතුළතදී පසුපෙළ පිතිකරුවන් තිදෙනකු දවාගිනිමින් ඇෆ්ඝනිස්ථානුවන්ගේ ගමන අවහිර කළේ ඕවර 5 ක් ඇතුළත අවසන් කඩුලු හතරම දවාගැනීමට මඟ පාදා ගනිමිනි.
පළමු තරගය පරාජය වූ නමුත් දෙවැනි තරගයේදී පිතිකරු ලයිස්තුවේ ශක්තිය මැනවින් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවරයකදී ලකුණු 6.46 ක වේගයක් රඳවා ගනිමින්, ලකුණු 320 සීමාව පැන ගියහ. උපනායක කුසල් මෙන්ඩිස්, පන්දු 75 කින් ලබාගත් ලකුණු 78 සහ සධීර සමරවික්‍රමගේ විශිෂ්ට පිතිහරඹය නිසා පසුපෙළ පිතිකරුවන්ට සිත් සේ ලකුණු හඹා යාමට අවසර ලැබිණ.
කුසල් මෙන්ඩිස් මේ වසරේදී ක්‍රීඩා කළ තරග හතකදී ලබාගත් පළමුවැනි අර්ධ ශතකය මෙයයි. මුහුණ දුන් 57 වැනි පන්දුවේදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ මෙන්ඩිස්, එතැන් සිට මනස්කාන්ත පහර කිහිපයක්ම ප්‍රදර්ශනය කරමින් හතරේ පහර 7 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කළේය. මෙන්ඩිස්ගේ අවසන් ලකුණු 28 සඳහා හතරේ පහර 3 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.
ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක (43) සහ දිමුත් කරුණාරත්න (52) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 92 කදී ලකුණු 82 ක් එක්කළහ. දිගු කලකට පසුව එක්දින කණ්ඩායමට එක්වූ දිමුත් කරුණාරත්න අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව යැවුණු පන්දුවේදී දැවී ගියේය. එසේ වූවත් කරුණාරත්න - නිස්සංක දෙදෙනා අතර සම්බන්ධතාව මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ට ආක්‍රමණය සඳහා අවස්ථාව පාදා දුන්නේය.
ප්‍රහාරාත්මක ඕවර 10 දී ඔවුන් දෙදෙනා ලබාගත්තේ ලකුණු 54 ක් පමණි. එතැන් සිට ලකුණු වේගය වැඩි කිරීමට ගත් උත්සාහයේදී දෙදෙනාම දැවී ගියහ. පසුව මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 88 ක් එක් කිරීමෙන්, පසුපෙළ පිතිකරුවන්ට අවශ්‍ය තරම් පන්දු ඉතිරි විය.
ඉනිම අග්ගිස්සේ ඕවර 10 දී, දසුන් ශානක, ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග තිදෙනාම හයේ - හතරේ පහර කරා යොමුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 300 කඩයිම පසුකර යා හැකිවිය. අවසන් ඕවර 10 දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 109 ක් ගලා ආ නමුත් දැවී ගියේ පිතිකරුවන් දෙදෙනකු පමණි.
බොහෝ විට පෙනි පෙනී තිබෙන අවස්ථාව අහිමි වන සධීර සමරවික්‍රම එක්දින තරගයක් ක්‍රීඩා කළේ වසර තුනකට පමණ පසුවය. එහෙත් තමන්ට ලැබෙන සෑම අවස්ථාවකින්ම හොඳින් ප්‍රයෝජන ගන්නා සධීර සමරවික්‍රම අද තරගයේදී කළ පිතිහරඹය, ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාවෙන් තක්සේරු කළ නොහැකි, ඊට වඩා වටිනාකමින් බොහෝ ඉහළ එකකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.