Last Update  :  2025-01-22 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා බාලිකාවන්ට තවත් දැවැන්ත ජයක්
බාලිකා ලෝක කුසලාන

ශ්‍රී ලංකා බාලිකාවන්ට තවත් දැවැන්ත ජයක්

editorial - 2025 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දඟ පන්දු යවන්නියන් වන චමෝදි ප්‍රබෝධා (16/3) සහ ලිමන්සා තිලකරත්න (07/2) දෙදෙනාගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ කොදෙව් බාලිකාවන් ලකුණු 85 කට සීමාකළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ මැලේසියාවේදී පැවැත්වෙන බාලිකා ලෝක කුසලාන තරගාවලියේදී දෙවැනි ජයත් වාර්තා කළහ. බටහිර ඉන්දීය බලිකා කණ්ඩායමට එරෙහිව අද (21 වැනිදා) පැවැති තරගයේදී ඕවර 20 කින් ලකුණු 166 ක් ලබාගත් ශ්‍රී ලංකා බාලිකාවෝ අද ලකුණු 81 ක පහසු ජයක් අත්පත් කරගත්හ. 

සහභාගි වූ තරග දෙකේදීම ශ්‍රී ලංකා බාලිකා පිතිකාරිණියන් ඉතාමත් සාර්ථක දස්කම් දැක්වූ අතර පළමු තරගයේදී මැලේසියානු කණ්ඩායම හමුවේ කඩුලු 6 කට ලකුණු 162 ක් ලබාගත් ඔව්හු කොදෙව් පිල හමුවේදීත් කඩුලු 5 කට ලකුණු 166 ක් රැස්කළහ. පළමු තරගයේදී මැලේසියානු බාලිකා කණ්ඩායම ලකුණු 23 කට සීමා කළ ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ කොදෙව් පිලේ යොවුන් පිතිකාරිණියන් ද අසරණ කළහ. 

ඉන්දියානුවන් හමුවේ පරාජයට පත්ව සිටි කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ඔවුන්ගේ පිතිකාරිණියෝ අද තරගයේදී යම් තරමක් දුරට සාර්ථක වූහ. එහෙත් ශ්‍රී ලංකා බාලිකාවන්ට තරගයක් දීමට තරම් එය ප්‍රමාණවත් නොවීය. 

කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීම තෝරා ගත් ශ්‍රී ලංකා බාලිකාවන් වෙනුවෙන් සංජනා කාවින්දි (39) සහ සුමුදු නිසංසලා (19) එක්ව පන්දු 38 කින් ලකුණු 54 ක් එකතු කළහ. තම සීමාවෙන් ඉදිරියට පැමිණෙමින් සුමුදු නිසංසලා ගැසූ හයේ පහර කලකට මතකයේ රැඳෙන්නක් විය. 

ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා දැමූ සාර්ථක අඩිතාලම මත සිට තම ප්‍රහාරය විසුරුවා හළ මනුදි නානායක්කාර (පන්දු 31 කින් ලකුණු 41 යි) සහ දැහැමි සෙනෙත්මා (පන්දු 25 න් ලකුණු 31) හතරේ පහර 8 කින් සහ හයේ පහරකින් කොදෙව් පන්දු යවන්නියන්ට සංග්‍රහ කළහ. මේ අතරවාරයේදී වයිඩ් පන්දු 15 ක් සහ නිපන්දු 7 ක් යැවූ කොදෙව් ක්‍රීඩිකාවෝ අතිරේක ලකුණු 31 ක් ශ්‍රී ලංකා බාලිකාවන්ට තිළිණ කළහ. 

මොණරාගල ප්‍රඥානන්ද මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි, චමෝදි ප්‍රබෝධා වමතින් දඟ පන්දු යවන්නියක් වූවද ශ්‍රී ලංකා බාලිකා පිල වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළාය. තවමත් 15 හැවිරිදි ක්‍රීඩිකාවක් වන ප්‍රබෝධා සිය මුල්ම ඕවර තුනේදී කඩුලු 3 ක් දවාගනිමින්, කොදෙව් පිතිහරඹය අඩපණ කළාය. ලකුණු 167 ක ඉලක්කයක් කරා යා යුතු කණ්ඩායමක මුල්ම කඩුලු 3 ලකුණු 36 කට දැවී යාමෙන් ඔවුන්ගේ ඉරණම කල්තියාම පැහැදිළි විය. 

පසුව පන්දුව අතට ගත් පා දඟ පන්දු යවන්නී ලිමන්සා තිලකරත්න ඕවර 3.4 ක් යවමින් ලකුණු 07 කට කඩුලු දෙකක් දවාගත්තේ අමියා ගිල්බර්ට් දුවද්දී දවාගැනීමකටත් හසුකර ගනිමිනි. 

ශ්‍රී ලංකා 19 න් පහළ බාලිකවෝ - ඕවර 20 කදී කඩුලු 5 ට 166 යි
(සංජනා කාවින්දි 39, සමුදු නිසංසලා 19, මනුදි නානායක්කාර 41, දැහැමි සෙනෙත්මා නොදැවී 31, සෙලීනා රොස් 25/2)

බටහිර ඉන්දීය කොදෙව් බාලිකාවෝ - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 85 යි
(සමාරා රැම්නත් 24, ජසාරා ක්ලැක්ස්ටන් 15, අම්රිතා රාම්තාල් 11, කෙනිකා කැසර් 12, චමෝදි ප්‍රබෝධා 16/3, අෂේනි තලගුණේ 16/2, ලිමන්සා තිලකරත්න 07/2)

- 213

 


අදහස් (0)

ශ්‍රී ලංකා බාලිකාවන්ට තවත් දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.