Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා සංචාරයට ස්ටේන් කැඳවයි

ශ්‍රී ලංකා සංචාරයට ස්ටේන් කැඳවයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන (ජූලි) මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායම සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත සංචිතයට ප්‍රවීන වේග පන්දු යවන්නකු වන ඬේල් ස්ටේන් කැඳවීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මේ වසරේ (2018) ජනවාරි මාසයේදී ඉන්දියාවට එරෙහිව කේප් ටවුන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී පාදයේ ආබාධයකට ලක් වූ ස්ටේන්, එම ආබාධ තත්වය හේතුවෙන් මාස 5 කට ආසන්න කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියේය. කෙසේ වුවත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී නැවතත් කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තුවෙන් මේ වන විට ඬේල් ස්ටේන් පුහුණුවීම් අරඹා තිබේ.

තිස්පස් වැනි වියට පා තැබීමට සූදානමින් සිටින ස්ටේන්, මේ වන විට දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 86 කට ක්‍රීඩා කර ඇති අතර එහිදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 419 කි. ඊට තරගයකදී කඩුලු 10 බැගින් දවාගත් 5 ක්ද, ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 26 ක්ද ඇතුළත් වේ. එසේ වුවත් විවිධ ආබාධ වලට ලක්වීම හේතුවෙන් දකුණු අප්‍රිකානු පිල අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග 32 න් 27 ක්ම ස්ටේන්ට අහිමි විය.

2013 වසරේ ජොහැන්නස්බර්ග්හිදී පාකිස්තානයට එරෙහිව ලකුණු 60 කට කඩුලු 11 ක් දවාගැනීම ස්ටේන්ගේ තරගයක හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන අතර 2010 වසරේ නාග්පූර්හිදී ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 57 කට කඩුලු 7 ක් දවාගැනීමට ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.

මෝනි මෝකල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමග දකුණු අප්‍රිකානු කණ්ඩායම තුළ පළපුරුදු වේග පන්දු යවන්නකු සඳහා ස්ථානයක් විවෘත විය. ආබාධයකට ලක්ව සිටියද ස්ටේන්ගේ ක්‍රිකට් ගිවිසුම තවත් වසරක් සඳහා දීර්ඝ කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ මෝකල්ගෙන් හිස්වුණ ස්ථානයට ස්ටේන් ආදේශ කිරීමේ අරමුණ පෙරදැරිවය.

ස්ටේන් සමගින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වේග පන්දු යවන්නන් සිවු දෙනකු සිටින අතර සංචිතයේ සිටින දඟ පන්දු යවන්නන් ගනණ තුනකි. පා දඟ පන්දු යවන්නකු වන ෂෝන් වොන්බර්ග් නවකයෙකි.

“මෝනි මෝකල් වගේ දක්ෂ වේග පන්දු යවන්නෙක් ක්‍රීඩාවෙන් සමුගනිද්දී ඔහුට නොදෙවෙනි ඬේල් ස්ටේන් වගේ තවත් දක්ෂ වේග පන්දු යවන්නෙක් නැවතත් කණ්ඩායම සමග එක්වීම අපිට ලොකු වාසියක්.” යැයි ස්ටේන්ගේ ආගමනය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරීම් කමිටුවේ කැඳවුම්කරු ලින්ඩා සොන්ඩි මහතා පවසයි.

ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩාද එම ආබාධ තත්වයෙන් පූර්ණ සුවය ලබා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී නැවතත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියි.

ස්ටේන්ගේ සහ රබාඩාගේ නැවත පැමිණීමත් සමග ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වේග පන්දු බලඇණිය තවත් ශක්තිමත් වී තිබේ. ලුංගිසානි නිදි සහ වර්නන් ෆිලැන්ඩර් සෙසු වේග පන්දු යවනන් ලෙස දකුණු අප්‍රිකානු සංචියට ඇතුළත්ව සිටිති.

මේ අතර සිය ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන කේෂව් මහරාජ්ගේ සහායට එක් ටෙස්ට් තරගයකට පමණක් ක්‍රීඩා කර ඇති ටාබ්‍රේස් ශමිසි සහ තවමත් ටෙස්ට් වරම් හිමිකරගෙන නොමැති ෂෝන් වොන්බර්ග් යන නවක දඟ පන්දු යවන්නන් කැඳවීමටද දකුණු අප්‍රිකානු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.


දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය
ෆෆ් ඩුප්ලේසි (නායක), හෂීම් අම්ලා, ටෙම්බා බවුමා, ක්වින්ටින් ඩි’කොක්, තියුනිස් ඩි’බෘයින්, ඩීන් එල්ගා, හෙන්රි ක්ලාසන්, කේෂව් මහරාජ්, ඒඞ්න් මාක්රම්, ලුංගිසානි නිදි, වර්නන් ෆිලැන්ඩර්, කගිසෝ රබාඩා, ටාබ්‍රේස් ශමිසි, ඬේල් ස්ටේන් සහ ෂෝන් වොන්බර්ග්


- 036

 


අදහස් (0)

ශ්‍රී ලංකා සංචාරයට ස්ටේන් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.