Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ‘ඒ’ නායකත්වය ධනංජයට

ශ්‍රී ලංකා ‘ඒ’ නායකත්වය ධනංජයට

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔක්තෝබර් මාසයේදී ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වයට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා නම් කර ඇතැයි වාර්තා වේ. කෙසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් මෙම සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත.

වාර්තා වන පරිදි ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි උප නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක කටයතු කරනු ඇත.

එම තරග සංචාරයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, කොදෙව් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සිවු දින තරග 3 කට සහ එක්දින තරග 3 කට සහභාගි වීමට නියමිතය.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 6 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන මහතාද, කලමණාකරු ලෙස චරිත් සේනානායක මහතාද කටයුතු කරති.

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එක්ව සිටින සධීර සමරවික්‍රම මේ වන විටත් ටෙස්ට් කණ්ඩායම හා එක්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටී. එහෙත් ඔක්තෝබර් 6 වැනිදා ඩුබායිහිදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - පාකිස්තානු දෙවැනි ටෙස්ට් තරගය සඳහා සධීර සමරවික්‍රම ක්‍රීඩා නොකරන්නේ නම් ඔහු බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යනු ඇත.

ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ සම්පූර්ණ තරගාවලියම ජැමෙයිකාවේදී පැවැත්වෙයි. තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ දෙක වන සබීනා උද්‍යාන පිටිය සහ ට්‍රිලෝනි නගරයේ ක්‍රීඩාංගණය අතර ඇත්තේ පැය එක හමාරකට මඳක් ආසන්න ගමන් කාලයකි.


ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය (නිල නොවන)
ධනංජය ද සිල්වා (නායක), චරිත් අසලංක (උප නායක), රොෂේන් සිල්වා, සධීර සමරවික්‍රම, රොන් චන්ද්‍රගුප්ත, සඳුන් වීරක්කොඩි, දසුන් ශානක, වනිඳු හසරංග, ෂෙහාන් ජයසූරිය, අමිල අපොන්සු, චාමික කරුණාරත්න, මාලින්ද පුෂ්පකුමාර, විමුක්ති පෙරේරා, කසුන් රාජිත, ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු


හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටින ක්‍රීඩකයෝ (නිල නොවන)
බිනුර ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, ෂෙහාන් මධුෂංක, නිෂාන් පීරිස්, සහ නිපුන් කරුණානායක


තරග කාල සටහන

පළමු සිවු දින තරගය - ඔක්තෝබර් 11 වැනිදා සිට 14 වැනිදා දක්වා - ට්‍රිලෝනිහිදී
දෙවැනි සිවු දින තරගය - ඔක්තෝබර් 19 වැනිදා සිට 22 වැනිදා දක්වා - ට්‍රිලෝනිහිදී
තෙවැනි සිවු දින තරගය - ඔක්තෝබර් 26 වැනිදා සිට 29 වැනිදා දක්වා - සබීනා පාර්ක්හිදී
පළමු එක්දින තරගය - නොවැම්බර් 1 වැනිදා - සබීනා පාර්ක්හිදී
දෙවැනි එක්දින තරගය - නොවැම්බර් 3 වැනිදා - සබීනා පාර්ක්හිදී
තෙවැනි එක්දින තරගය - නොවැම්බර් 5 වැනිදා - සබීනා පාර්ක්හිදී හෝ ට්‍රිලෝනිහිදී


- 036


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ නායකත්වය ධනංජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.