Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකාවේ අංක 1 ස්ථානය අවදානමේ

ශී‍්‍ර ලංකාවේ අංක 1 ස්ථානය අවදානමේ

දමින්ද විජේසුරිය - 2013 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 14 Comment
A A A

විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියේදීත් ඉන් අනතුරුව පැවැති වි:20 තරගවලදීත් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානය දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම, දකුණු අපි‍්‍රකානුවන් හමුවේ පිට පිටම තරග දෙකක් පරාජය වූ නමුත් තවමත් සිය පෙරමුණ රැකගෙන සිටී. එහෙත් ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර අද (6 වැනිදා) සූරියවැවදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන වි:20 තරගයේදී ජයග‍්‍රහණය තමන් සතුකර ගැනීමට අපොහොසත් වුවහොත් වි:20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 ස්ථානය ශී‍්‍ර ලංකා පිලෙන් ගිළිහී යනු ඇත.

මේ වන විට ප‍්‍රසාද ලකුණු 125 ක් සතුව, පාකිස්තානු  පිලට (ප‍්‍රසාද ලකුණු 124) වඩා යාන්තමින් හිස ඔසවාගෙන සිටින ශී‍්‍ර ලංකා පිල පරදවා 3-0 ක තරගාවලි ජයක් ලබාගැනීම තම කණ්ඩායමේ එකම අභිප‍්‍රායය බව දකුණු අපි‍්‍රකානු නායක ෆෆ් ඩු ප්ලෙසී පෙරේදා (4 වැනිදා) තරගය අවසානයේදී ප‍්‍රකාශ කළේය.

”එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම අපට කිසිම අනුකම්පාවක් දැක්වූයේ නෑ. අපට හුස්ම ගන්නවත් නොදී 4-1 ක් ලෙසින් අපව පරාජය කළා”

”මේ තරගාවලියේදී අපිත් ඒ දේම කරන්නයි සූදානම. ඒත් ඔවුන් හොඳ කණ්ඩායමක් කියන එක අප අමතක කරලා නෑ” යයිද හෙතෙම පැවසීය.

දකුණු අපි‍්‍රකානු නායකයාගේ අරමුණ ඉටුවුවහොත් වි:20 අන්තර්ජාතික කි‍්‍රකට් හිණිපෙතේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 121 ක් දක්වා පහළ බසින අතර පාකිස්තානු කණ්ඩායම පෙරමුණට එයි. ඒ අතරවාරයේදී ප‍්‍රසාද ලකුණු 122 ක් ලබා දෙවැනි ස්ථනයට පැනගැනීම දකුණු අපි‍්‍රකානුවන්ගේ අපේක්‍ෂාවයි.

එහෙත් ශී‍්‍ර ලංකා වි:20 නායක දිනේෂ් චන්දිමාල් කියන්නේ වෙනත් කතාවකි.

”අප තරගාවලිය පරාජය වෙලා ඉවරයි. ඒත් තවත් තරගයක් තියෙනවා. කණ්ඩායමක් වශයෙන් අපේ ගෞරවය රැුකගන්න නම් ඒ තරගය ජයගත යුතුයි” යයි දිනේෂ් චන්දිමාල් ඉරිදා (4 වැනිදා* සවස මාධ්‍ය නියෝජිතයන් හමුවේ පැවසීය.

ශී‍්‍ර ලංකා පිල අද තරගය ජයගතහොත් ප‍්‍රසාද ලකුණු 127 ක් ලබා තව ටික කලකට හෝ අංක 1 ස්ථානය රඳවා ගැනීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා පිලට ලැබෙනු ඇත.

තමන්ට ලැබෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගනිමින් කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන යාමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට මෑතකදී එක්වූ නවකයන් ඉගෙන ගත යුතු බවත්, ඔවුන්ගේ අසාර්ථක වීම හේතුවෙන් විස්සයි/20 තරගාවලිය පරාජය වූ බවත් දිනේෂ් චන්දිමාල් වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

”අප පසුගිය කාලයේදී තරුණ කී‍්‍රඩකයන් කිහිපදෙනකුම යොදා ගත්තා. ඒත් බොහෝ අවස්ථාවන්හිදී ඔවුන් අපේක්‍ෂිත මට්ටමට දස්කම් දැක්වූයේ නෑ”

”තමන්ට ලැබෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජන අරන් කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙනයන්න ඔවුන් ඉගෙනගන්න  ඕනා” යයි චන්දිමාල් කළ ප‍්‍රකාශය තරුණ කී‍්‍රඩකයන්ගේ ඇස් ඇරවීමකි.

අපේක්‍ෂිත දස්කම් දක්වමින් කණ්ඩායමේ රැඳී සිටීම හෝ කණ්ඩායමෙන් ඉවත්ව යාම යන දෙකින් එකක් තෝරා ගැනීමට තරුණ කී‍්‍රඩකයන්ට සිදුව තිබේ. එහිදී වැඩි වගකීමක් පැවරෙන්නේ පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක්වූ කී‍්‍රඩකයන්ටය.

”145 කියන්නේ අපට ලබාගත හැකි ලකුණු සංඛ්‍යාවක්. අප හොඳින් පන්දු යැව්වා වගේම පන්දු රැකීමත් කළා. ඒත් අපේ පිතිකරුවන් අපව අසරණ කළා” යයි චන්දිමාල් දෙවැනි තරගයෙන් අනතුරුව පැවසීය.

වි:20 තරග දෙකේදී තමන් ලද කණ්ඩායම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන්නේද යන්න කළ විමසීමකට පිළිතුරු දීමේදී චන්දිමාල් පවසා සිටියේ තමන්ට හොඳ කණඩායමක් සිටි බවත් එකම හේතුව ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් තිදෙනා එකම තරගයකදී කී‍්‍රඩා නොකිරීම බවත්ය.

ඒ අනුව අද තරගයේදී මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් යන තිදෙනාම කී‍්‍රඩා කිරීමේ වැඩි ඉඩක් පවතී. ශී‍්‍ර ලංකා පිල තරගාවලියේදී අසරණ වී සිටීම ඊට හේතුවයි.

මේ අතර ශී‍්‍ර ලංකා දග පන්දු යවන්නන්ට මුහුණ දීමට නවතම ක‍්‍රමවේදයක් සොයා ගත් දකුණු අපි‍්‍රකානුවෝ ශී‍්‍ර ලංකා දග පන්දු යවන්නන්ට කිසිවක් සිතාගැනීමට අපහසුවන පරිදි දිගින් දිගටම පහර දීමේ ක‍්‍රමයෙන් සාර්ථක ප‍්‍රතිඵල නෙළාගෙන සිටිති.

”මේගොල්ලන්ට අරුම පුදුම ද`ග පන්දු යවන්නන් ඉන්නවා. ඔවුන්ට නිදහසේ පන්දු යවන්න දුන්නොත් ඔවුන් අපව සුද්දකරලා දාවි”
”එනිසා අපේ උපක‍්‍රමය වුණේ බිය නැතිව ඇවිදින් ඔවුන් කළබලයට පත්වන විදිහට පන්දුවට පහර දෙන්නයි. ඇතැම් විට කඩුල්ලක් දෙකක්

දැවී යන්න පුළුවන් වුණත් අපේ උපක‍්‍රමයේ වෙනසක් වුණේ නෑ”යයි ෆෆ් ඩු ප්ලෙසී ඉරිදා රාති‍්‍රයේ පැවසීය.

මීළග වි:20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉතිරිව ඇත්තේ මාස කිහිපයක් බැවින් තුන්වැනි තරගයේදී කිසියම් අත්හදා බැලීම් කිහිපයක් කිරීමේ අදහසද දකුණු අපි‍්‍රකානු පිලට තිබේ. එහි වාසියද ශී‍්‍ර ලංකා පිලට ලබාගත හැකිය.

දකුණු අපි‍්‍රකානු වි:20 කණ්ඩායමද විවිධ ආකාරයේ දක්‍ෂතා සපිරි කී‍්‍රඩකයන්ගෙන් ගහණ කණ්ඩායමකි. එක දිනයක පිත්තෙන් හෝ පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වන කී‍්‍රඩකයාගේ කිසිදු සහයක් ඊළ`ග දිනයේදී අවශ්‍ය නොවන තත්ත්වයක් එහි තිබේ.

පළමු වි:20 තරගයේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ ජේ. පී. ඩුමිනි ඉරිදා තරගයේදී පන්දු යැවීමට පැමිණියේද නැත. වේන් පානෙල්ද ඒ ආකාරයේම කී‍්‍රඩකයෙකි. විටෙක ප‍්‍රචණ්ඩ පිතිකරුවකු වශයෙන් කටයුතු කරන පානෙල් පන්දුව වමඅතට ගත් විට භයාංකාර වේග පන්දු යවන්නෙකි.

දකුණු අපි‍්‍රකානු පිතිකරු ලයිස්තුවේ අංක 8 දක්වාම විශ්වාසය තැබිය හැකි පිතිකරුවන් වන අතර පන්දු යවන්නන්ගෙන්ද ඔවුන්ට කිසිදු හිගපාඩුවක් නැත.

මේ සියල්ල සම්පිණ්ඩනය කිරීමේදී ශී‍්‍ර ලංකා පිලේ අංක 1 ස්ථානය අවදානමට ලක්ව ඇති බව නම් නොකියා නොහැකිය. එය අවදානමෙන් ගළවා ගැනීම ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් සතු වගකීමකි.

(දමින්ද විජේසූරිය සූරියවැව කී‍්‍රඩාංගණයේ සිට)

ඡායාරූප : ශාන්ත රත්නායක


අදහස් (14)

ශී‍්‍ර ලංකාවේ අංක 1 ස්ථානය අවදානමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.