Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකාවේ අභිමානය රැකගැනීමේ තරගයක්

ශී‍්‍ර ලංකාවේ අභිමානය රැකගැනීමේ තරගයක්

ශනුක අරවින්ද - 2016 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුචින්ග් නගරයේදී රටවල් හතක සහභාගිත්වයෙන් දැන් පැවැත්වෙන ආසියානු සමුළු සහයෝගිතා පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව හා මැකාවෝ රාජ්‍යය අතර තරගය අද (9) පැවැත්වේ. එය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 5.00 ට ආරම්භ වේ.

මෙම තරගාවලියේ මූලික වටයේ ”බී” කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාවට සිය අභිමානය රැක ගැනීමට ඉතිරිව ඇති එහි එකම තරගය බවට අද තරගය පත්ව තිබේ. මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය මෙන්ම තරගාවලියේ ඔවුන් සහභාගි වන අවසන් තරගයක් බවට අද තරගය පත්ව ඇත්තේ මෙතෙක් ශ්‍රී ලංකාව තරගාවලියේ සහභාගිවූ මූලික වටයේ තරග දෙකම මේ වන විට පරාජයට පත්ව තිබෙන බැවිනි.

ඒ අනුව මෙම ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේදීත් ශ්‍රී ලංකාවේ සහභාගිත්වය මූලික වටයට පමණක් සීමාවූවත් මැකාවෝ පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් ඔවුන්ට එය අස්වැසිල්ලක් වනු ඇත.

චීන යටත්විජිතයක් ලෙස මෑත කාලයක් වන තුරු පැවැති මැකාවෝ රාජ්‍යය ”කැසිනෝ” කී‍්‍රඩා සම්බන්ධයෙන් ඉමහත් ප‍්‍රසිද්ධියක් උසුලන නමුත් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 195 වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාව එහි පසුවන්නේ 193 වැනි ස්ථානයේය.

මෙම තරගාවලියේදී වඩාත් ප‍්‍රබලතම කණ්ඩායම බවට මේ වන විට පත්ව සිටින මැකාවෝ පාපන්දු කණ්ඩායම මූලික වටයේ සහභාගිවූ තරග දෙකම ජය ගැනීමට සමත්ව සිටියි. ඒ මොංගෝලියාව හා ලා ඕසයට එරෙහිවය.

එසේ වුවත් ශ්‍රී ලංකාව ලා ඕසය හා මොංගෝලියාව හමුවේ පරාජය විය. ඒ අනුව අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට තරගාවලියේ වඩාත්ම අභියෝගය බවට පත්ව තිබෙන බව පැහැදිළිවේ. මෙම තරගය අද පැවැත්වෙන අතර එම වේලාවේදීම ”බී” කාණ්ඩයේ තවත් මූලික වටයේ තරගයක් කුචින්ග් නුවර සරවාක් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ ලා ඕසය හා මොන්ගෝලියාව අතරය.

අද තරගය පිළිබඳව ”ලංකාදීප”යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරු ඩඞ්ලි ස්ටේන්වෝල් මහතා ඉතිරිව තිබෙන සියලූම උපක‍්‍රම යොදා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගැනිමට උත්සාහ කරන බව පැවැසීය. එහෙත් එය මෙම තරගාවලියේ තමා මුහුණ දෙන වඩාත්ම අභියෝගය බවට පත්ව තිබෙන බව පැවැසූ ඔහු මේ වන විට පරාජිත මානසිකත්වයෙන් පසුවන ශ්‍රී ලංකා කී‍්‍රඩකයන්ට එය ලේසි පහසු කටයුත්තක් නොවන බවත් එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

ඩඞ්ලි ස්ටේන්වෝල් මහතා මෙම තරග සංචාරය අවසන්වීමෙන් පසුව තව දුරටත් ”කුචින්ග්” නුවර දින කීපයක් ගත කරමින් අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ තාක්ෂණික වැඩ මුළුවකටද සහභාගි වීමට සූදානමින් සිටියි.

වසර 2008 අගෝස්තු 4 වැනිදා ශ්‍රී ලංකාව හා නේපාලය අතර පැවැති තරගයෙන් පසුව ශ්‍රී ලංකාව අද සහභාගිවන්නේ සිය 48 වැනි ජාත්‍යන්තර පාපන්දු තරගයටය. එහිදී ශ්‍රී ලංකාව දිනා ඇත්තේ තරග 10 ක් පමණි. තවත් තරග පහක් ජය පරාජයෙන් තොරව අවසන්වී තිබෙන්නේ සෙසු සියළු තරග පරාජයට පත්වෙමිනි.

”කුචින්ග්” තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන සෙනසුරාදා (12) පැවැත්වේ. අවසන් මහ තරගය පැවැත්වෙන්නේ ලබන අඟහරුවාදාය (15).

”ඒ” කාණ්ඩයේ ප‍්‍රසාද ලකුණු සටහනට අනුව ටිමෝරය හා නේපාලය එහි ඉදිරියෙන් පසුවේ. ශ්‍රී ලංකාව හා මැකාවෝ අවසන් වරට ජාත්‍යන්තර පාපන්දු පිටියේ මුණ ගැසී ඇත්තේ ගෝවේ පැවැති පෘතුගීසි යටත්විජිත කී‍්‍රඩා උළෙලේදීය. එහිදී ශ්‍රී ලංකාව ගෝල 3-0 ක් ලෙස මැකාවෝ රාජ්‍ය පරාජය  කර තිබේ.

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාවේ අභිමානය රැකගැනීමේ තරගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.