Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට කඩුලූ 10 ක ජයක්

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට කඩුලූ 10 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලූ 10 ක පහසු ජයක් ලැබීමට අද (14 වැනිදා) සමත් විය.  මෙම තරගයේ සිවුවැනි සහ අවසන් දිනය වූ අද හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද දිවා ආහාරයට පෙරම තරගය අවසන් විය.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 33 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 4.3 කදී කිසිවකු නොදැවී සම්පූර්ණ කළේය. දෙවැනි ඉනිමේදී ශ‍්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස උපුල් තරංගගේ ස්ථානයට ජෙහාන් මුබාරක් කැදවා තිබුණි.  

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (13) දිනය අවසන් වන විට කඩුලූ 7 ක් දැවී ලකුණු 267 ක් ලබා සිටි කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 285 කට සීමා කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අද පෙරවරුවේ විනාඩි 20 කදී වගබලා ගත්හ. වමතින් වේග පන්දු යවන විශ්ව ප‍්‍රනාන්දු පෙරවරුවේ කඩුලූ තුනම දවා ගත්තේය.

දකුණතින් පා දග පන්දු යවන සීකුගේ ප‍්‍රසන්න මෙම තරගයේ ඉනිම දෙකේදී ලකුණු 186 කට කඩුලූ 9 ක් දවා ගැනීමට සමත් විය.

ෂේන් ෂිලිංෆෝඞ් සහ නිකීතා මිලර් අටවැනි කඩුල්ලට ලකුණු 106 ක සම්බන්ධාතාවක් පැවැත්වීමෙන් කොදෙව් පිල ලකුණු 32 ක් ඉදිරියට පැමිණියේය.

ෂේන් ෂිලිංෆෝඞ් සහ නිකීතා මිලර් මස්පිඩු පෙරළිමේ ආබාධයක් හේතුවෙන් පෙරේදා රාත‍්‍රී හම්බන්තොට රෝහලේදී ස්කෑන් පරීක්‍ෂණයකට සහභාගි වී තිබේ. කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

ජයග‍්‍රහණයෙන් පසුව ශ‍්‍රී ලංකා ‘ඒ‘ පිලේ නායක උපුල් තරංග පැවසුවේ කණ්ඩායමේ පිතිකරුවන් සහ පන්දු යවන්නන්ගේ දස්කම් පිළිබ`දව තමන් ගොඩක් සතුටු වන බවයි.

”දිමුත් ඉතාමත් හොද ඉනිමක් ක‍්‍රීඩා කරා. චන්දිට (දිනේෂ් චන්දිමාල්) සහ තිරීට (ළහිරු තිරිමාන්න) අවාසනාවට ශතක රැස්කරන්න බැරි වුණා. ඒ වගේම සීකුගේ වගේම මේ වගේ තණතීරුව වේග පන්දු යවන්නන්ගෙන් ද මා බලාපොරොත්තු වූ දේ ලැබුණා”

මෙම තරගයේදී තරංග දැවී ගිය පන්දුව ඉතාමත් කලාතුරකින් යොමු වන පන්දුවක් වීම නිසා ඒ පිළිබදව කළ විමසුමකදී ඔහු මෙසේ පැවසීය.

”එවැනි පන්දු ලැබෙනවා. පිතිකරුවකු හැටියට හැකියාව තිබෙන්නේ  ඕනේ එවැනි පන්දුවලටත් මුහුණ දීමට. නමුත් ක‍්‍රීඩාවේදී වාසනාවත් තිබිය යුතුයි”   

”මාතර තරගයේදී මෙම කණ්ඩායමේ ක‍්‍රීඩකයන් පස් දෙනකු වෙනුවට නව ක‍්‍රීඩකයන් පහක් ඇතුළත් කරන බව තේරීම් කමිටුව පැවසුවා. තේරීම් කමිටුව ක‍්‍රීඩකයන් වැඩි සංඛ්‍යාවකට අවස්ථාව ලබාදීමට බලාපොරෙත්තු වෙනවා” යැයි උපුල් තරංග වැඩි දුරටත් පැවසී.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල සහ කොදෙව් ‘ඒ’ පිල අතර දෙවැනි සිවුදින තරගය මේ මස 18 වැනිදා මාතර, උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ලකුණු පුවරුව


අදහස් (0)

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට කඩුලූ 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.