Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෂරපෝවා ජයග්‍රහණ සොයා වෙහෙසෙයි

ෂරපෝවා ජයග්‍රහණ සොයා වෙහෙසෙයි

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිගහැරෙන ගිම්හානයේදී පැවැත්වෙන ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියට පෙර සිය දස්කම් මුවහත් කරගැනීමේ දැඩි අරගලයක නිරතව සිටින රුසියාවේ ටෙනිස් රුජන මාරියා ෂරපෝවාට තවදුරටත් එය අසීරු එකක් බවට පත්වී තිබේ. ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරදී පැවැති ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයෙන් නෙදර්ලන්තයේ කිකි බර්ටෙන්ස් හමුවේ ෂරපෝවා පරාජයට පත්වූවාය.

අන්තර්ජාතික කාන්තා ටෙනිස් පිටියේ හිටපු නොම්මර එකේ ක්‍රීඩිකාව වන මේ රුසියානු තරුව පසුගිය වසරේදී තහනම් උත්තේජක භාවිතා කිරීමේ වරදට හසුවීමෙන් ලැබූ තරග තහනමින් පසුව යළි දස්කම් අතරට සේන්දුවීමේ බලවත් පරිශ්‍රමයක නිරතව සිටින්නීය. මීට පෙර ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් කිරුළු පහක්ම දිනාගත් ෂරපෝවාට සිය දෙවැනි ගමනේදී පෙන්වීමට හැකිවී ඇත්තේ සිය දස්කම්වලින් අල්පමාත්‍රයක් පමණි.

උතුරු අර්ධගෝලයේ ගිම්හානය ආරම්භ වීමත් සමගම එක පෙළට ටෙනිස් තරග පැවැත්වෙන අතර එහි පළමු වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව ප්‍රංශ විවෘත තරගාවලියයි. දෙවැන්න විම්බල්ඩන් ශූරතාවලිය වන අතර තරග සමය නිමා වන්නේ ඇමරිකා එක්සත් ජනපද විවෘත ශූරතාවලියෙනි.

ෂරපෝවා මැඞ්රිඞ් පිටියට පැමිණියේ පිට පිට පරාජයන් තුනක්ම ලබාගැනීමෙන් පසුවය. කිකි බර්ටෙන්ස් පිටියට පිවිසියේ පිට පිට ජයග්‍රහණ තුනක්ම වාර්තා කරමිනි.

මැටිවලින් සැකසු මේ ස්පාඤ්ඤ ටෙනිස් පිටියේදී ෂරපෝවා පරාජය කිරිමෙන් පසුව 31 හැවිරිදි නෙදර්ලන්ත ක්‍රීඩිකාව කියා සිටියේ ලබන මස ප්‍රංශයේ රෝලන්ඞ් ගැරොස් හී පැවැත්වෙන ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියට යාමට පෙර ඇයට තවත් ජයග්‍රහණ කිහිපයක්ම අවශ්‍ය බවයි.

වසර 2014 දී මැඞ්රිඞ් ශූරිය වූ ෂරපෝවා මේ තරගයේදී ශක්තිමත් ආරම්භයක් ගත්තත්, ශ්‍රේණිගත කිරීම්වල අහළකවත් නැති බර්ටෙන්ස්ගේ ජවසම්පන්න ප්‍රහාරය හමුවේ පරාජය වැළඳ ගත්තේ ලකුණු 4-6 ක්, 6-2 ක් සහ 6-3 ක් ලෙසිනි.

“මේ වර්ගයේ තරගවලදී මම ගොඩක් දේවල් දකිනවා. මම මීට වඩා හොඳ විය යුතුයි. අනික මම දියුණු විය යුතුයි” යයි ශ්‍රේණිගත කිරීම් අතරේ 52 වැනි තැනට  වැටී සිටින ෂරපෝවා වාර්තාකරුවන්ට කීවාය.

“අතීතයේදී දැක්වූ දස්කම් මත රැඳී ඉන්න බෑ. ඒවා හොඳ ක්‍රීඩිකාවන් පිරිසකට එරෙහිව ලැබූ විශිෂ්ට ජයග්‍රහණ තමයි. නමුත් අද මගේ පරාජයට වෙනත් හේතු තියෙනවා. මං ආපහු ගිහින් හැමදෙයක්ම නැවත අලුතින් පටන් ගන්න ඕනා.” යයි ඇය කීවාය.

මීළඟ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියට එක්වීමට ෂරපෝවා බලා සිටියත් ඇය ඊට පෙර අවශ්‍ය ශ්‍රේණිගත කිරීම් අතරට එක්වීම අවිනිශ්චිතය.

මාස 15ක තහනම් උත්තේජන තරග තහනමකට හසුවීමෙන් පසුව නැවත පැමිණි ඇයට පසුගිය වසරේ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමිවී ගියේ ‘වයිල්ඞ් කාඞ්’ අවසරය ලබාදීම සංවිධායක මණ්ඩලය ප්‍රතික්ෂේප කිරිම නිසාය. සංවිධායකයන්ගේ අභිමතය පරිදි එය ලබා දෙන්නේ ශ්‍රේණිගත කිරීම්වල නොසිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටය.

නැවත ටෙනිස් පිටියට පා තැබීමෙන් පසුව ෂරපෝවාට ජයගැනිමට හැකිවූයේ එක් ශූරතාවක් පමණි.

මාරියා ෂරපෝවා - රුසියාව

 

 කිකි බර්ටෙන්ස් - නෙදර්ලන්තය


- 077

 


අදහස් (0)

ෂරපෝවා ජයග්‍රහණ සොයා වෙහෙසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.