Last Update  :  2025-01-24 19:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සමිතගෙන් ලෝක වාර්තාවක්

සමිතගෙන් ලෝක වාර්තාවක්

editorial - 2024 සැප් මස 04 148 Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පැරිස් පැරලිම්පික්  උළෙලේදී  ශ්‍රී  ලංකා ක්‍රීඩක සමිත දුලාන් කොඩිතුවක්කු එෆ් - 44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් මීටර්  67.03 ක දක්ෂතාවයක් පළ කරමින් රිදී  පදක්කමක් දිනා ගැනීමට සමත් විය.එය එෆ් - 44 හෙවත් පාදයක්  දණ හිසෙන් පහළ  ආබාධ  (පිරිමි)  කාණ්ඩයට අයත් මෙම ඉසව්වේ නව ලෝක වාර්තාවක් ලෙසත් සටහන් විය.

මෙය  34 හැවිරිදි යුද  හමුදා  ක්‍රීඩක  සමිත දුලාන් දිනා ගත් දෙවැනි පැරලිම්පික් පදක්කමයි.පසුගිය ටෝකියෝ (2020) පැරලිම්පික් උළෙලේදී මෙම ඉසව්වෙන්  සමිත ලෝකඩ පදක්කමක් (මිටර් 65.61) ශ්‍රී  ලංකාවට දිනා දුන්නේය.

ශ්‍රී  ලංකාව ප්‍රංශයේ  පැරිස්   නුවරදී  දැන් පැවැත්වෙන 17 වැනි පැරලිම්පික් උළෙලේදී දිනාගත් පළමු පදක්කමත් එයම වේ. සමිත රිදී  පදක්කම හිමි කර ගත් මෙහි රන් පදක්කම පැරලිම්පික්  වාර්තාවක් පිහිටුවමින් මීටර් 70.59 කට දිනා ගත්තේ ඉන්දීය ක්‍රීඩක සුමිට්  අන්ටිල් විසිනි. ඔහු එහිදී තරග වැදුණේ එෆ් 64 හෙවත් පාදයක් දණහිසෙන් අහිමි (පිරිමි) කාණ්ඩයෙනි. මෙම කාණ්ඩ දෙකම එකම ඉසව්වකට ඇතුළත් කරමින් පැවැත්විණි.

ලෝකඩ පදක්කම ඕස්ට්‍රේලියානු ක්‍රීඩක බ්‍රයන් මයිකල් විසින් අත් කර ගත්තේ මීටර්  64.89 ක  ඉසව්වේ මෙතෙක්  ඔහුගේ  හොදම  දක්ෂතාව  වාර්තා කරමිණි. සමිත  ඔහුගේ උත්සහයන් හයේදී මෙම  හොදම  දක්ෂතාව පස් වැනි උත්සහයේදී වාර්තා  කර සිටියේය.

සමිත මේ දක්වා ලෝක ශූරතා රිදී  පදක්කමක් හා ලෝකඩ පදක්කමක්ද ඇතුළුව ආසියානු පැර ක්‍රීඩා රිදී  පදක්කමක්ද දිනා ගැනීමට සමත්ව සිටින ශ්‍රී ලාංකිකයෙකි. පැරිස්  පැරලිම්පික් රිදී  පදක්කම දිනා ගැනීම පිළිබදව ඔහු පැරිස් නුවරදී  පැවැසුවේ වසර හතරකට පසුව තමාට ලෝකඩ පදක්කමේ සිට රිදී පදක්කම දක්වා දක්ෂතාව ඉහළ නංවා ගැනීමට හැකිවීමත් එහිදී ලෝක වාර්තාවක් පිහිටුවීමට හැකීවීමත්  පිළිබදව  වඩාත්ම සතුටු වන බවයි.

‘‘සතියකට මම පැය 28 කට ආසන්න කාලයක් පුහුණුවීම් කරලයි මම මේ තත්වයට ආවේ. අපට තිබෙන ලොකුම ප්‍රශ්නය පුහුණුවීම් සදහා උසස් තත්වයේ හෙල්ල නොමැතිවීම. හංගේරියාවෙන් එවා ගෙන්වා ගැනීමේදී ඇතිවී තිබෙන බාධා  මග හරවා ගැනීමට අපට උදව් අවශ්‍යයි.”‍ යයිද ඔහු වැඩිදුරටත්  පැවැසීය.

ශ්‍රී  ලංකාවේ පැරලිම්පික් සහභාගිත්වය  1996 ඇට්ලන්ටා පැරලිම්පික් උළෙල දක්වා දිවෙන අතර මේ දක්වා පදක්කම්  පහක් දිනා සිටියි. ඒ  ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (3) පාන්දර දක්වා පැවැති සිය ඉසව්වෙන් සමිත දිනා ගත් රිදී  පදක්කම හැරුණු විට මීට පෙර එක් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමෙනි.

ටෝකියෝ  (2020) පැරලිම්පික් උළෙලේදී  ලෝක වාර්තාවක්  පිහිටුවමින් හෙල්ල විසි කිරීම එෆ් - 46 හෙවත් එක් අතක වැළමිටෙන් පහළ අප්‍රාණික හෝ ආබාධ (පිරිමි) කාණ්ඩයෙන් රන් පදක්කම දිනා ගත් ශ්‍රී  ලංකා  ක්‍රීඩක දිනේෂ්  ප්‍රියන්ත  හේරත් මෙවර පැරිස් පැරලිම්පික් උලෙළටත් නිර්දේශ ලබා සිටියත් ඔහු පැර ක්‍රීඩක තත්වයෙන් ඉවත් කිරීමට අන්තර් ජාතික  පැරමලල ක්‍රීඩා  කමිටුව තීරණය කිරීමෙන් ඔහුට සංචාරය අහිමි විය. ඒ 2024 කෝබේ ලෝක ශුරතා තරග සංචාරයේදී ඔහුට එරෙහිව  ඉන්දියාව  කළ පැමිණිල්ලකට අනුවය. යුද හමුදා  පොලීසියේ සේවය කරන  පැරිස් පැරලිම්පික්  රිදී පදක්කම්ලාභී සමිත දුලාන් දෙනියාය මධ්‍ය මහ විදුහලේ හා මාතර රාහුල විදුහලේ ආදි සිසුවෙකි.

 


අදහස් (0)

සමිතගෙන් ලෝක වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.