Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්කොට්ලන්තය ලකුණු 6 කින් එංගලන්තය පරදවයි

ස්කොට්ලන්තය ලකුණු 6 කින් එංගලන්තය පරදවයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව එඩින්බරෝහිදී අද (11 වැනිදා) පැවැති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් අත්කර ගැනීමට සත්කාරක ස්කොට්ලන්ත කණ්ඩායම සමත් විය.

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එංගලන්තය පළමු ස්ථානයේ පසුවන අතර ස්කොට්ලන්තය පසුවන්නේ 13 වැනි ස්ථානයේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 372 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට ඕවර 48.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 365 ක් පමණි. ලයෑම් ප්ලන්කට් පන්දු 45 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 47 ක් ලබා එංගලන්ත ඉනිම නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටියද, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔහුට නොහැකි විය.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ ජොනී බෙයාස්ට්‍රෝ පන්දු 59 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 105 ක් රැස්කරමින් එංගලන්තය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ජේසන් රෝයි (34) සමග එක්ව පන්දු 76 කදී ලකුණු 129 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බෙයාස්ට්‍රෝ සමත් විය.

ඇලෙක්ස් හේල්ස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 52 ක්ද, මුයින් අලී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 46 ක්ද බැගින් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රණය කරවීමට මහත් උත්සාහයක් දැරූහ. එහෙත් ස්කොට්ලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඔවුන්ගේ උත්සාහයන් අසාර්ථක විය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ මාර්ක් වැට් ලකුණු 55 කට කඩුලු 3 ක් දවාගත් අතර එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඇලෙස්ඩෙයාර් එවන්ස් සහ රිචී බෙරින්ටන් කඩුලු 2 බැගින් දවාගත්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 371 ක් රැස්කළ අතර ස්කොට්ලන්ත ඉනිම නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටි කලම් මැක්ලියොඞ් පන්දු 94 කදී ලකුණු 140 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 16 ක් සමගිනි.

රිචී බෙරින්ටන් (39) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 89 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මැක්ලියොඞ්, ඉන් නොනැවතී ජෝජ් මුන්සේ (55) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 81 කදී ලකුණු 107 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 54 කදී වාර්තා වූ බෙරින්ටන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින්ද, පන්දු 51 කදී වාර්තා වූ මුන්සේගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 7 කින්ද සමන්විත විය.

ආරම්භක පිතිකරු යුගළය ලෙස කටයුතු කළ මැතිව් කෘස් (48) සහ කයිල් කොයෙට්සර් (58) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 82 කදී ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ස්කොට්ලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 49 කට මුහුණදුන් කොයෙට්සර් හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම අලංකාර කළේය.


ස්කොට්ලන්තය - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 371
(මැතිව් කෘස් 48, කයිල් කොයෙට්සර් 58, කලම් මැක්ලියොඞ් නොදැවී 140, රිචී බෙරින්ටන් 39, ජෝජ් මුන්සේ 55, ආදිල් රෂීඞ් 72/2, ලයෑම් ප්ලන්කට් 85/2)

එංගලන්තය - ඕවර 50 කදී සියලු දෙනා දැවී 365
(ජේසන් රෝයි 34, ජොනී බෙයාස්ට්‍රෝ 105, ඇලෙක්ස් හේල්ස් 52, ජෝ රූට් 29, ඔයින් මෝගන් 20, මුයින් අලී 46, ලයෑම් ප්ලන්කට් නොදැවී 47, මාර්ක් වැට් 55/3, ඇලෙස්ඩෙයාර් එවන්ස් 50/2, රිචී බෙරින්ටන් 67/2)

 

- 036


අදහස් (0)

ස්කොට්ලන්තය ලකුණු 6 කින් එංගලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.