Last Update  :  2025-03-12 12:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්මිත් - කේරි ඕස්ට්‍රේලියාවට වාසිය ගෙනෙති
වෝන් - මුරලිදරන් කුසලාන

ස්මිත් - කේරි ඕස්ට්‍රේලියාවට වාසිය ගෙනෙති

editorial - 2025 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය - ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට)

ඉනිම ආරම්භයේදීම කඩුලු දෙකක් බිඳ වැටීමෙන් පසුපාදයට වැටුණද, කණ්ඩායමේ බර කර තබාගත් නායක ස්ටීවන් ස්මිත්ගේ (නොදැවී 120) අධිෂ්ඨානශීලී පිතිහරඹයත්, ඇලෙක්ස් කේරිගේ (නොදැවී 139) ශතකයත් නිසා ඕස්ට්‍රේලියානුවෝ නැවතත් හිස් ඔසවාගත්හ. 

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (07 වැනිදා) සවස  ක්‍රීඩාව නතර කරන විට කඩුලු 3 කට ලකුණු 330 ක් ලබා ගත් ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකාව අභිබවා ලකුණු 73 කින් ඉදිරියට පැමිණ සිටිති. 

ස්ටීවන් ස්මිත් සහ ඇලෙක්ස් කේරි අතර පවතින සිව්වැනි කඩුල්ලේ අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 239 කි. ඒ වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනා වැයකළේ විනාඩි 236 කි. 

සිව්වැනි ඉනිමේදී පන්දුවට පහර දීමෙන් වැළකී සිටීම අරමුණ කරගත් ඕස්ට්‍රේලියානුවෝ විනාඩි 334 කින් ලකුණු 330 ක් ලබා ගත්හ.  ඔවුන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය ඕවරයකදී ලකුණු 4.125 ක් වූවද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ කඩුලු 3 ක් පමණි. 

තණතීරුවේ දෙපැත්තෙන් පන්දුව හතරේ සීමාවට යැවෙන ‘ස්වීප්’ සහ ‘රිවර්ස් ස්වීප්’ පහර ශ්‍රී ලංකා පිතිකරුවන් වැඩිපුර භාවිතා නොකළ නමුත් ස්මිත් මෙන්ම ඇලෙක්ස් කේරිද එම පහර වැඩි වැඩියෙන් යොදාගත්හ. ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර, ඩුබායිහිදී පැවැති පුහුණුවීම් වලදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ‘ස්වීප්’ සහ ‘රිවර්ස් ස්වීප්’ පහර සඳහා විශේෂයෙන් පුහුණු වී තිබේ. 

ස්ටීවන් ස්මිත් මුහුණ දුන් පළමු පන්දුවේදීම කඩුල්ල ආවරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රභාත් ජයසූරිය කළ ඉල්ලීම විනිසුරු ඒඩි්‍රයන් හෝල්ඩ්ස්ටොක් විසින් ප්‍රතික්ෂේප කරන ලදි. ප්‍රභාත් සහ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා විතීවී සහාය ඉල්ලා සිටි නමුත් ප්‍රභාත්ගේ පන්දුව කඩුල්ලෙන් ඉවතට ගිය බැවින් ස්මිත්ට සිය කඩුල්ල රැකගැනීමේ අවස්ථාව ලැබිණ. එතැන් සිට පසුපස නොබැලූ ඕස්ට්‍රේලියානු නායකයාට වාසනාව නම් නොඅඩුවම තිබිණ. 

පසුගිය සතියේ ගාල්ලේදී ටෙස්ට් ලකුණු 10,000 කඩඉම ඉක්මවා ගිය ස්ටීවන් ස්මිත් අසම්මත පිතිකරුවෙකි. මේ ඔහුගේ තුන්වැනි ශ්‍රී ලංකා සංචාරයයි. එම සංචාර තුනේදී ශතක 4 ක් ලබා සිටින ස්මිත් ශ්‍රී ලංකාවේදී රඳවාගෙන සිටින ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 73.22 කි. පසුගිය සතියේදීත් ගාල්ලේදී ලකුණු 141 ක් ලබාගත් ස්මිත් මේ දක්වා ශ්‍රී ලංකාවේදී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 659 කි. 

පැය පහක පමණ කාලයක් තිස්සේ පන්දු 239 කට මුහුණ දුන් ඕස්ට්‍රේලියානු නායකයා, හතරේ පහර 9 කින් සහ හයේ පහරකින් සිය ඉනිම සරසා තිබේ. 

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක ලබාගත් පිතිකරුවන් අතර දෙවැනියා වන ස්මිත්ගේ 36 වැනි ටෙස්ට් ශතකය මෙයයි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ශතක ලබාගත් පිතිකරුවන් අතර ස්මිත්ට ඉදිරියෙන් සිටින්නේ රිකී පොන්ටිං (41) පමණි. 

ඕස්ට්‍රේලියානු පිලේ අංක 5 පිතිකරු ජොෂ් ඉංග්ලිෂ්, පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් ඊයේ සෑහෙන කාලයක් ක්‍රීඩාගාරයට වී සිටියේය. එනිසා පිතිකරු ලයිස්තුවේ පහළින් ඒමට ඔහුට සිදුවූ බැවින් ඇලෙක්ස් කේරි අංක 5 ස්ථානයෙන් පිටියට පිවිසියේය. ඇඟට පතට නොදැනී ලකුණු ලබාගත් ඇලෙක්ස් කේරි පන්දු 118 කින් ශතකය සම්පූර්ණ කළ අතර ඔහුගේ සම්පූර්ණ ඉනිම හතරේ පහර 13 කින් සහ හයේ පහර දෙකකින් සමන්විත විය. එය ටෙස්ට් තරග 39 ක් ක්‍රීඩා කළ කේරිගේ දෙවැනි ශතකයයි. 

කඩුලු 9 කට ලකුණු 229 ක් ලබා සිටියදී අද පෙරවරුවේදී තරගය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 257 කට දැවී ගියේය. කුසල් මෙන්ඩිස් සහ ළහිරු කුමාර අතර අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 33 ක සම්බන්ධතාවක් වාර්තා වූ නමුත් එයින් ලකුණු 31 ක් ම ගලා ආවේ කුසල්ගේ පිත්තෙනි. 

ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට නොදැවී ලකුණු 85 ක් ලබා සිටි මෙන්ඩිස්, හතරේ පහර 10 ක් සහ හයේ පහරක් ඊට ඇතුළත් කර තිබිණ. 

 


අදහස් (0)

ස්මිත් - කේරි ඕස්ට්‍රේලියාවට වාසිය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.