Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සා. තෝමස් අභියෝගයට රාජකීය සූදානමක්

සා. තෝමස් අභියෝගයට රාජකීය සූදානමක්

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ‘ඩී.එස්.සේනානායක අනුස්මරණ කුසලාන’ වෙනුවෙන් පැවැත්වෙන ‘නිල් මහා සටන’ 139 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය මාර්තු මස 9, 10 සහ 11 යන දිනයන්හිදි කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

‘නිල් මහ සටන’ පළමු වරට 1880 වසරේදී ආරම්භවූ අතර ලොව අඛණ්ඩව පැවැත්වෙන ක්‍රිකට් තරග අතර දෙවැනි දීර්ඝතම ක්‍රීකට් තරගය ලෙස ඉතිහාසගත වෙයි. ‘නිල් මහා සටන’ ආරම්භවීමට වසරකට පෙර ආරම්භ කරන ලද ඕස්ටේ්‍රලියාවේ ඇඩිලේඞ් නුවර ශාන්ත පීතර විදුහල සහ ඇඩිලේඞ්හිද ඇල්ෆ්‍රඞ් කුමර විදුහල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගය ලොව දීර්ඝතම ක්‍රිකට් තරගය ලෙස ඉතිහාසගත වෙයි.

මෙවර පැවැත්වෙන 139 වැනි ‘නිල් මහා සටනේදී කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පසිඳු සූරියබණ්ඩාරට හිමිවී ඇති අතර සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඩෙලන් පීරිස්ට හිමිවී ඇත.

දෙවිදුහල් අතර මේ දක්වා වාර්ෂික මහ ක්‍රිකට් තරග 138 ක් පවත්වා ඇති අතර කොළඹ රාජකීය විදුහල තරග 35 ක් ජයගෙන ඇත. සාන්ත තෝමස් විදුහල තරග 34 ක් ජයගෙන ඇති අතර තරග 69 ක් ජය පරාජයෙන් තොරව අවසන්වී ඇත.

සාන්ත තෝමස් විද්‍යාලය අවසන් වරට 2007 වසරේදී අශාන් පීරිස්ගේ නායකත්වයෙන් කුසලානය හිමිකරගත්තේය. කොළඹ රාජකීය විද්‍යාලය අවසන් වරට 2016 වසරේදී ගීශාන්ත් පණ්ඩිතරත්නගේ නායකත්වය යටතේ කුසලානය තමන් සතුකර ගැනීමට සමත්විය.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් හිටපු අගමැතිවරුන්වන ඩී.එස්.සේනානායක සහ ඩඞ්ලි සේනානායක යන මහත්වරුද කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් හිටපු අගමැතිවරයකු වන ශ්‍රීමත් ජෝන් කොතලාවල සහ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාද නිල් මහ සටන සදහා සිය පාසල් නියෝජනය කළ කීර්තිමත් රාජ්‍ය නායකයෝ වෙති.

කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් රන්ජන් මඩුගල්ල, අසන්ත ද මෙල්, ජයන්ත අමරසිංහ, ජෙහාන් මුබාරක්, කිත්රුවන් විතානගේ, කුසල් ජනිත් පෙරේරා ඇතළු ක්‍රීඩකයින් රැසක්ද ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන්, දුලිප් මෙන්ඩිස්, ගයි ද අල්විස්, ජීවන් මෙන්ඩිස්, කෞෂාල් සිල්වා, රනිල් අබේනායක ඇතළු ක්‍රීඩකයින් රැසක්ද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට සමත්වූහ.

රාජකීය විද්‍යාලය මෙවර පාසල් තරග වාරයේදී තරග 20 කට ක්‍රීඩාකරමින් කොළඹ වෙස්ලි, මහනුවර ධර්මරාජ, කෑගලු විද්‍යාලය, පාදුක්ක සිරි පියරතන සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලැබූවද යාපනය ශාන්ත ජෝන් විදුහල හමුවේ පරාජයට පත්විය.  

කොළඹ රාජකීය විද්‍යාලයේ නායක පසිඳු සූරියබණ්ඩාර මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේදී ශතක දෙකක් සහ අර්ධ ශතක 10 ක් සමගින් ලකුණු 1257 ක් රැස්කරමින් ලකුණු 1000 පසුකළ දෙවැනි පිතිකරු බවට පත්විය.
 
කවිඳු මදුරුසිංහ (758), කමිල් මිෂාර (735), තරිඳු සේනාරත්න (699), භාග්‍ය දිසානායක (689) සහ ගයාන් දිසානායක (610) මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේදී රාජකීය විද්‍යාලය වෙනුවෙන් ලකුණු 600 සීමාව පසුකළ පිතිකරුවෝ වූහ.

මනුල පෙරේරා මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේදී කඩුලු 81 ක් දවා ගනිමින් රාජකීය විද්‍යාලය වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්වී ඇති අතර කමිල් මිෂාර කඩුලු 52 ක් දවා ගනිමින් දෙවැනියට වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා විය.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග 19 කට සහභාගි වෙමින් කොළඹ නාලන්ද, කොළඹ ලුම්බිණි, මරදාන සහිරා, පන්නිපිටිය ධර්මපාල, මොරටුව වේල්ස් කුමර සහ කුරුණෑගල මලියදේව යන විද්‍යාල වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලැබූ අතර කිසිදු තරගයක් පරාජයට පත්වී නොමැත.
සාන්ත තෝමස් විද්‍යාලයේ නායක ඩෙලන් පීරිස් ලකුණු 468 ක් රැස්කරමින් පිත්තෙන්ද කඩුලු 63 ක් දවා ගනිමින් පන්දුවෙන්ද මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක්වීය.

මනීෂ රූපසිංහ (663), මන්තිල විජේරත්න (593), සිතාර හපුහින්න (566) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 500 සීමාව පසුකළ පිතිකරුවෝ වූහ.

මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේදී කඩුලු 67 ක් දවා ගනිමින් සාන්ත තෝමස් විද්‍යලය වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට ශනෝන් ප්‍රනාන්දු පත්වී ඇති අතර තෙවින් ඊරියගම කඩුලු 23 ක් දවාගැනීමට සමත්වී ඇත.


කොළඹ රාජකීය විදුහල් සංචිතය:
පසිඳු සූරියබණ්ඩාර (නායක), කමිල් මිෂාර, මනුල පෙරේරා කවිඳු මදරසිංහ, තිමාල් බණ්ඩාර, ප්‍රෂාන් සිල්වා, ළහිරු මධුසංඛ, කෞහාන් කුලසූරිය, දිමාල් විජේසේකර, තෙවිඳු සේනාරත්න, උවින් හේරත්, කවිඳු පතිරත්න, සරල ගුණතිලක, අහන් වික්‍රමසිංහ, භාග්‍ය දිසානායක සහ ගයාන් දිසානායක,


ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් සංචිතය:
ඩෙලන් පීරිස් (නායක), කළන පෙරේරා, තෙවින් ඊරියගම, ශැනන් ප්‍රනාන්දු, මනීෂ රූපසිංහ, සිතාර හපුහින්න, පවිත් රත්නායක, සිමාල් සමරවික්‍රම, රයන් ප්‍රනාන්දු, දිමිත්‍ර විමලසූරිය, විශුද් පෙරේරා, ශලීන් ද මෙල්, දිනෙත් කන්නංගර, ක්‍රිෂාන් මුණසිංහ, මොහොමඞ් අෂාම්, දුලිත් ගුණරත්න, දිල්මින් රත්නායක සහ මන්තිල විජේරත්න,

 


අදහස් (0)

සා. තෝමස් අභියෝගයට රාජකීය සූදානමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.