Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිංහයන්ගේ පුරුද්ද පසුපස හඹා ගොස් ජය ගැනීමයි

සිංහයන්ගේ පුරුද්ද පසුපස හඹා ගොස් ජය ගැනීමයි

editorial - 2022 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ සිංගප්පූරුවේ සිට)

සිංහයන්ගේ පුරුද්ද පසුපස හඹා ගොස් ජය ගැනීම බවත් පළමු වටයේදී අත් කර ගත් අවාසිය පසුපස හඹා ගොස් සිංහ කොඩිය ලෙළ දෙවමින් ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු කුසලාන මෙවර දිනා ගැනීමට සමත් වූ බවත් සිංගප්පූරුවේ දී ඊයේ (11) නිමාවට පත් වූ 12 වැනි ආසියානු දැල්පන්දු  තරගාවලියේ  කණ්ඩායමේ නායිකා ගායාංජලී අමරවංශ   ලංකාදීපයට  පැවසුවාය.

මෙවර ආසියානු දැල්පන්දු කුසලාන දිනා ගැනීමෙන් පසුව ලංකාදීපයට ශ්‍රී ලංකා නායිකාව මෙසේද පැවසුවාය.

”අපි අවසන් මහා තරගයේ පළමු වටයේ පැරදුනා.එතනදී කණ්ඩායම වැටෙන්න ගියා නම් අද අපිට ආසියානු කුසලාන දිනා ගන්න ලැබෙන්නේ නෑ. අපේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් නැගිට්ටේ එතන ඉඳලායි. අවසන් මහා තරගයකදී මෙවැනි දේවල් අරුමයක් නොවෙයි.

අපි මෙදා දල්පන්දු ආසියානු කුසලාන දිනා ගත්තා වගේම  ආසියානු ක්‍රිකට් කුසලානත් දිනා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පතන්න මෙය මම අවස්ථාවක් කර ගන්නවා.
         
අපි ආසියානු දැල්පන්දු කුසලානය නැවත දිනා ගෙන ලෝකයට පෙන්නූවා අපි වැටුණු ජාතියක් නොවන නැගී සිටින ජාතියක් බවයි. අද ලෝකය පුරාම ප්‍රචාර වෙලා තිබෙන්නේ  ශ්‍රී ලාංකිකයන් කඩා වැටුණු ජාතියක් කියලයි.

එහෙත් දැල්පන්දු වගේම ක්‍රිකට් කුසලාන දිනා ගැනීමෙන් අපි ජාත්‍යන්තරයට පණිවිඩයක් දෙන්න සමත් වුණා. අපි කඩා වැටුණු ජාතියක් නොව නැඟී සිටින ජාතියක් බව කියා පාන්නයි
          
පෙරේදා පැවැති තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව ලකුණු 63 - 53 කට ජයගත්තේ සිංගප්පූරුව පරාජයට පත්කරමිනි.ඒ අනුව ශ්‍රී ලංකාව හැරෙන්නට අනුශූරතාව ලද සිංගප්පූරුව ද එළඹෙන 2003  කේප් ටවුන් ලෝක දැල්පන්දු තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.

එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව ඉහළම තැනකට ඔසවා තැබීම සිය අභිප්‍රාය වන බවද නායිකා ගයාංජලි අමරවංශ වැඩිදුරටත් පැවසුවාය.
             
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනි හායිසින්ත් විජේසිංහ මහත්මිය ආසියානු කුසලාන දිනා ගැනීම ගැන ලංකාදීපයට මෙසේ පැවසුවාය.

” ඇත්තටම අපි ලැබුවේ අනේක විදි දුක් විඳලා ලබපු ජයග්‍රහණයක්.කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන්ගෙන් කැපවීම හා ඉලක්කය ඒකට බලපෑවා. අද මුළු ලෝකයම අපේ දිහා බලාගෙන ඉන්නෙ කඩා වැටුණු ජාතියක් දිහා බලන් ඉන්න විදිහටයි. නමුත් අපි දිනා ගත්ත ආසියානු  දැල් පන්දු කුසලාන තුළින් ඒ මතය බිඳ වැටෙනවා.මගේ ඉලක්කය වුණේ ශ්‍රී ලංකාවට ආසියානු කුසලාන දිනා දීමයි.මෙයින් පස්සේ මගේ තනතුරට මොනවා වුණත් කමක් නෑ.එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වන තෙක් මට මේ පුහුණුකරු  ධුරයේ රැඳී ඉන්න පුළුවන් වෙයිද කියලා කියන්න මම දන්නෙ නෑ.”

වත්මන් ජාතික දැල්පන්දු පුහුණුකාරිනියගේ නිල කාලය  අවසන් වන්නේ ලබන දෙසැම්බර් 31 වැනිදාය. මේ අතර හෙට (13) පාන්දර  පෙරළා දිවයිනට ළඟා වන ආසියානු කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමේ නිල උත්සවයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුනි.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ හා ක්‍රීඩා රාජ්‍ය ඇමති රෝහණ දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පිළිගැනීමේ උත්සවය පැවැත්වීමට  නියමිතව තිබුනි.

මේ අතර ආසියානු කුසලාන අපරාජිතව දිනා ගැනීම පිළිබඳව සතුට පළ කරමින් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම වෙත සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.

වසර 2023 ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන දැල්පන්දු තරග සංචාරය සාර්ථක කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ සියලු සහයෝගය හා අනුග්‍රහය  ලබාදෙන බවත් එහිදී ක්‍රීඩා ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

 


අදහස් (0)

සිංහයන්ගේ පුරුද්ද පසුපස හඹා ගොස් ජය ගැනීමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.