Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සීගිරියේ ශූරතාව දිනන්න තුන්කොන් සටනක්

සීගිරියේ ශූරතාව දිනන්න තුන්කොන් සටනක්

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සීගිරිය රැළි ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීම සඳහා ෂෙහාන් සී. අධිකාරි, ඉෂාන් දසනායක සහ ජැක් ගුණවර්ධන අතර තුන්කොන් සටනක් නිර්මාණය වී තිබේ. මෙම තරගාවලිය මේ මස 5 වැනිදා පෙරවරු 9.00 සිට සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ.

ඉෂාන් දසනායක (ඡායාරූපය - ශානුක අරවින්ද)

මෙම කී‍්‍රඩකයන් තිදෙනාම ඔවුන්ගේ වත්මන් කී‍්‍රඩා විලාසය අනුව එකිනෙකාට නොදෙවෙනි මට්ටමක පසුවන අතර අපේ‍්‍රල් මාසයේ පැවැති සියැට් - ස්ලාඩා ශූරතාවලියේ දෙවැනි අදියර වූ ‘නරියා කන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේදී ඔවුන් තිදෙනාම සම ලකුණු (16 බැගින්) ලබාගැනීම ඊට හොඳම නිදසුනයි.

කෙසේ වෙතත් අවසන් තරගයේදී දැක්වූ ඉහළ දක්ෂතාවය හේතුවෙන් ඉෂාන් දසනායක, එම තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත්තේය.

ඉකුත් වසරේ පැවැති සීගිරිය රැළි ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ෂෙහාන් සී. අධිකාරි සමත් වූ අතර පළමු තරගයේ පළමු ස්ථානය සහ දෙවැනි තරගයේ දෙවැනි ස්ථානය අත්කර ගනිමින් ඔහු එම ශූරතාවට හිමිකම් කීවේය. එහිදී ෂෙහාන් සමග කරට කර සටනක නිරත වූ ජැක් ගුණවර්ධන පළමු තරගයේ තෙවැනි ස්ථානය සහ දෙවැනි තරගයේ පළමු  ස්ථානය අත්කරගත් අතර ඉෂාන් දසනායක පළමු තරගයේ දෙවැනි ස්ථානයට පත් විය.

ඒ අනුව ෂෙහාන් සී. අධිකාරිට ඉකුත් වසරේදී දිනාගත් දක්ෂතම යතුරුපැදිකරුවා කිරුළ තවදුරටත් තමන් සන්තකයේ තබාගැනීමට නම් මේ වසරේදීත් ඉෂාන්ට සහ ජැක්ට වඩා වැඩි දස්කම් දැක්වීමට සිදුවනු ඇත.

මින් පෙර එක් වරක් සීගිරිය රැළි ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ඉෂාන් දසනායක (2009 වසරේදී) සමත් වී ඇති අතර ජැක් ගුණවර්ධන තවමත් එම තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට සමත් වී නැත.

එම නිසා ෂෙහාන් සී. අධිකාරි දක්ෂතම යතුරුපැදිකරුවා කිරුළ රැකගැනීමේ සටනක නිරත වෙද්දී ඉෂාන් දසනායක දෙවැනි වරටද, ජැක් ගුණවර්ධන පළමු වරටද දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමේ අදිටනින් මෙම තරගාවලියේදී තරග වදිති.

ශෙහාන් සී. අධිකාරි (ඡායාරූපය - ශානුක අරවින්ද)

එහිදී මොවුන් තිදෙනාට සීගිරිය රැළි ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සිව්වරක් (2010, 2011, 2012 සහ 2013) සම්මාන දිනා සිටින හිටපු ජාතික මොටෝක්‍රොස් ශූර ගයාන් සඳරුවන්ගෙන් එල්ල වන අභියෝගයද සුළු කොට තැකීමට නොහැකි වනු ඇත.

ඉකුත් වසරේදී ආබාධ හේතුවෙන් තාවකාලිකව කී‍්‍රඩාවෙන් ඉවත්ව සිටි ගයාන් මේ වසරේදී ‘නරියා කන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේදී නැවත කී‍්‍රඩාවට අවතීර්ණ වූවද, එහිදී ඔහුට සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි විය. කෙසේ වුවත් හඹාගොස් තරග ජයගැනීමේ සිය සුපුරුදු කී‍්‍රඩා විලාසයට අවතීර්ණ වීමේ බලාපොරොත්තුවෙන් ගයාන් මෙම තරගාවලියට සහභාගී වෙයි.

ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන සමීර පේ‍්‍රමරත්න, යොවුන් කී‍්‍රඩකයන් වන ඉවෝන් බී. ගුරුසිංහ මෙන්ම නැගී එන කී‍්‍රඩකයකු වන බුද්ධික සිල්වාද තමන්ට ලැබෙන සුළු අවස්ථාවලින් පවා ප‍්‍රයෝජන ගැනීමට සූදානමින් සිටින බැවින් ෂෙහාන්ට, ඉෂාන්ට සහ ජැක්ට යතුරුපැදි ශූරතාව කරා යෑමේදී ඔවුන් අතින් සිදුවන අඩුපාඩු අවම කරගැනීමට සිදුවනු ඇත.

ෂෙහාන් සී. අධිකාරි හොණ්ඩා කණ්ඩායමටද, ජැක් ගුණවර්ධන ටී. වී. එස්. කණ්ඩායමටද එක්වීමෙන් පසු තරග වදින පළමු සීගිරිය රැළි ක්‍රොස් තරගාවලිය මෙය වන අතර ඔවුන්ගේ කණ්ඩායම් සගයන් ලෙස ඉමාල් මංචනායක (හොණ්ඩා) සහ ඉෂාන් දසනායක (ටී. වී. එස්.) කටයුතු කරති.

එම කණ්ඩායම් දෙකට අමතරව ගයාන් සඳරුවන් සහ ශානුක සඳරුවන් (හොණ්ඩා-1), මිතුන් ජයසංක සිගේරා සහ ළහිරු ජීවන්ත (යුද හමුදාව-1), සමීර පේ‍්‍රමරත්න සහ බුද්ධික ද සිල්වා (යුද හමුදාව-2), ඉවෝන් බී. ගුරුසිංහ සහ දේෂාන් සොලංකි (සියැට්) යන කී‍්‍රඩකයෝද මෙම තරගාවලියේ යතුරපැදි කණ්ඩායම් ශූරතාව සඳහා තරග වදිති.  

සියැට් - ස්ලාඩා ශූරතාව සඳහා වන එම්. එක්ස්. කාණ්ඩයේ තරග 2 ද සමගින් යතුරුපැදි ඉසව් 11 ක් මෙවර තරගාවලියට ඇතුළත් වන අතර එහිදී ඉන්දීය යතුරුපැදිකරුවන් දෙදෙනකුද සමගින් දේශීය තරගකරුවන් 101 දෙනෙක් තරග බිමට පිවිසීමට සූදානමින් සිටිති.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව 8 වැනි වරටත් මෙම තරගාවලිය සංවිධානය කරයි.

 

ජැක් ගුණවර්ධන (ඡායාරූපය - ශානුක අරවින්ද)

 


අදහස් (0)

සීගිරියේ ශූරතාව දිනන්න තුන්කොන් සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.