Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.එච්. පිල පොලිස් රැකවලින් මිදෙයි
අන්තර් සමාජ පළමු පෙළ

සී.එච්. පිල පොලිස් රැකවලින් මිදෙයි

editorial - 2024 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතිය ආරම්භ කරමින් පොලිසිය සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර අද (20 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 39-27 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. 

බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-14 ක් ලෙස පෙරමුණ ගත් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 22 ක් එක්කර ගත්හ. පොලිස් ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි. 

පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළේය. පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් පොලිස් කණ්ඩායම දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ දඬුවම් පහර 2 ක් සහ දඬුවම් උත්සාහක දිනුමක් මගිනි. 

සී.එච්. කණ්ඩායම වෙනුවෙන් දේවින්ද රත්නායක 8 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ජනිත් චන්දිමාල් එය ගෝල දිනුමක් බවට පත් කළේය. 14 වැනි විනාඩියේදී පොලිසිය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට හේෂාන් සිල්වා සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ෂේන් හෝප්වුඩ් 07-07 ක් ලෙස දෙපිලේම ලකුණු තත්වය සම කළේය.   

ජනිත් චන්දිමාල් 18 වැනි විනාඩියේදී සාර්ථක කරගත් දඬුවම් පහරත් සමග සී.එච්. කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගියේය. එහෙත් 31 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් නිරෝෂ් පෙරේරා සහ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ෂේන් හෝප්වුඩ් ලකුණු 14-10 ක් ලෙස පොලිස් කණ්ඩායම ඉදිරියට රැගෙන ආහ. 

පළමු අර්ධයේ අවසන් විනාඩියේදී සී.එච්. කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ නිරෝෂ් පෙරේරා දෙවැනි අර්ධයට යෑමට පෙර සිය කණ්ඩායමට තරගයේ වැඩි වාසි අත්කර දුන්නේය.  එම උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් ජනිත් චන්දිමාල් ලකුණු තත්වය 17-14 ක් බවට පත් කිරීම සඳහා නිරෝෂ්ට සහය දැක්වීය. 

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 15 ක් ගතවන විට පොලිසිය සාර්ථක කරගත් දඬුවම් පහර 2 ත්, සී.එච්. කණ්ඩායම සාර්ථක කරගත් දඬුවම් පහරත් සමග 20-20 ක් ලෙස යළිත් වරක් ලකුණු තත්වය සමාන විය. පොලිස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රින්ස් චාමර 43 වැනි සහ 54 වැනි විනාඩි වලදීද, සී.එච්. කණ්ඩායම වෙනුවෙන් ජනිත් චන්දිමාල් 45 වැනි විනාඩියේදීද එම දඬුවම් පහර සාර්ථක කරගත්හ. 

ඉන් අනතුරුව 56 වැනි විනාඩියේදී නිරෝෂ් පෙරේරාද, 62 වැනි විනාඩියේදී මලික්ෂ පෙරේරාද සී.එච්. කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කරමින් කණ්ඩායම් දෙක අතර ලකුණු 10 ක පරතරයක් ඇති කළේය. ඉන් දෙවැනි උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් ජනිත් චන්දිමාල් ලකුණු තත්වය 32-20 ක් බවට පත්කළේය. 

පොලිස් ක්‍රීඩකයකු ලබාගැනීමට තැත් කළ උත්සාහක දිනුමක් වලක්වාලීම සඳහා සී.එච්. ක්‍රීඩකයන් නීති විරෝධී අයුරින් කටයුතු කිරිම නිසා 78 වැනි විනාඩියේදී පොලිසියට දඬුවම් උත්සාහක දිනුමක් ලබාදීමට විනිසුරුවරයා පියවර ගත්තේය. ඒ සමග අවසන් විනාඩි 2 ආරම්භ වන විට ලකුණු 32-27 ක් ලෙස යළිත් වරක් තරගය දෙපිලටම විවෘත විය. 

එහෙත් තරගයේ අවසන් විනාඩියේදී සී.එච්. කණ්ඩායම වෙනුවෙන් පස්වැනි උත්සාහක දිනුම ලබාගත් නායක ජනිඳු දිල්ෂාන් සහ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ජනිත් චන්දිමාල් ප්‍රසාද ලකුණක්ද සමගින් ලකුණු 39-27 ක් ලෙස සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. 

මෙම තරගයේදී පොලිස් කණ්ඩායමේ නායක මොහාන් විමලරත්නද (55 වැනි විනාඩියේදී), සී.එච්. කණ්ඩායමේ නායක ජනිඳු දිල්ෂාන් (64 වැනි විනාඩියේදී) සහ උදේෂ් මධුෂංකද (73 වැනි විනාඩියේදී) විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලැබූහ.


අදහස් (0)

සී.එච්. පිල පොලිස් රැකවලින් මිදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.