Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී. ආර්. සැලසුම සාර්ථක වෙයි

සී. ආර්. සැලසුම සාර්ථක වෙයි

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සැලසුම් සහගත ක්‍රීඩා රටාවක නිරතවෙමින් ජයග්‍රහණයේ මාවත හෙළි පෙහෙළි කරගත් සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩකයෝ අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ දෙවැනි වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 24-17 ක විශිෂ්ට ජයක් අත්කර ගත්හ. හැව්ලොක්ස් ක්‍රීඩා පිටියේ ඊයේ පස්වරුවේ පැවැති මේ තරගයේ දී සී.ආර්.පිල ගෝල් 3ක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගත් අතර යුද හමුදා පිල ලැබුවේ ගෝල් 2 ක් සහ දඬුවම් පහරක් පමණි.

ආරම්භයේදී දැඩි ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ යුද හමුදා ක්‍රීඩකයෝ තරගයේ ගෝලයක් සහ දඬුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු 10-3 කින් පෙරමුණ ගැනීමට සමත් වූහ. එහෙත් පළමු භාගය නිමා වීමට පෙර නැවත තරගයට අවතීර්ණ වූ රතු බැනියම් කාරයන්ට ලකුණු සංඛ්‍යාව 10-10 ක් ලෙස සමකර ගැනීමට හැකිවූයේ ඔවුන්ගේ අංක අටේ ක්‍රීඩක ඕමල්ක ගුණරත්න තැබූ අනගි උත්සාහක දිනුමක් තරින්ද රත්වත්ත විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීමෙනි.

දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු 10 ක් පමණ දෙපිලම කරට කර  සටනක නිරතවූවත් 50 වැනි මිනිත්තුවේ දී සී.ආර්.පිලේ හුකර් ක්‍රීඩක සුපුන් වර්ණකුලසූරිය ප්‍රතිවාදී සීමා ඉර අසළදී සිදුවූ රෝලිං මොල් අවස්ථාවකින් කදිම ඵල නෙලා ගනිමින් අගනා උත්සාහක දිනුමක් තැබුවේය. කිසිදු අපහසුවකින් තොරව එය ගෝලයක් බවට ප්‍රවර්තනය කළ තරින්ද රත්වත්ත සී.ආර්.පිලේ ලකුණු සංඛ්‍යාව 17-10 කින් ඉහළට ඔසවා තැබීමට සමත්විය.

ඉන් නොනැවතුණු රතුබැනියම් කාරයන් තවත් මිනිත්තු දහයකින් පසුව තරගයේ පාලනය සියතට ගනිමින් ජයග්‍රහණයට අත වනන්නට පටන් ගත්තේ නායක කවිඳු පෙරේරා තැබූ සුපිරි උත්සාහක දිනුමත් සමගිනි. තරින්ද විසින් එය ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීම නිසා සී.ආර්.පිලේ ලකුණු සංඛ්‍යාව 24 දක්වා ඉහළ යද්දී යුද හමුදා ක්‍රීඩකයන්ට පරාජය බාරගැනීමට සිදුවිය.

තරගය නිමාවීමට ස්වල්ප වේලාවකට පෙර යුද හමුදා පිලේ සෙන්ටර් ක්‍රීඩක සමීර බුලත්සිංහල සිය ක්‍රීඩකයන්ගේ කදිම පන්දු පිරිනැමීමක් හමුවේ විශිෂ්ට උත්සාහක දිනුමක් තැබීමට සමත්වූවත් තරගයේ ජයග්‍රහණයට එය කොහෙත්ම ප්‍රමාණවත් නොවීය. ගයාන් සාලින්ද විසින් එය ගෝලයක් බවට ප්‍රවර්තනය කරමින් යුද හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 17 දක්වා ඉහළ දැමූමවද සමීරගේ උත්සාහක දිනුමත් තරගයේ නිමාවත් අතර පැවැතියේ විනාඩි දෙකක කාලයක් පමණි.

 

- 077

ඡායාරූප - වරුණ කරුණාසේකර


අදහස් (0)

සී. ආර්. සැලසුම සාර්ථක වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.