Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙයිෆට් ගාල්ලේ ජය ඉක්මන් කරයි
එල්.පී.එල්. - 2024

සෙයිෆට් ගාල්ලේ ජය ඉක්මන් කරයි

editorial - 2024 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 9 වැනි තරගය ලෙස ගාල්ල මාවල්ස් කණ්ඩායම සහ මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල මාවල්ස් කණ්ඩායම සමත් විය. ගාල්ල කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ තෙවැනි ජය මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල මාවල්ස් කණ්ඩායම ඕවර 17.1 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කයක හඹාගිය අතර පන්දු 49 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 82 ක් රැස්කළ ටිම් සෙයිෆට් ගාල්ල කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.  

මුලු ලකුණු සංඛ්‍යාව 12 ක්ව තිබියදී නායක නිරෝෂන් දික්වැල්ල දැවී ගියද, සෙසු ආරම්භක පිතිකරුවා වූ ඇලෙක්ස් හේල්ස් (38) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 79 ක සම්බන්දතාවක් ගොඩනැගීමට සෙයිෆට් සමත් විය. පන්දු 19 කට මුහුණදුන් හේල්ස් හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසුවේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 175 ක් ලබාගත්තේය. නායකත්වයේ පිතිහරඹයක නිරත වූ වනිඳු හසරංග, පන්දු 32 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 65 ක් රැස්කරමින් මහනුවර කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

ලකුණු 77 කට කඩුලු 5 ක් බිඳවැටීමෙන් කඩා වැටී තිබූ මහනුවර ඉනිමට නව ජවයක් එක්කළ වනිඳු,  ඇන්ජලෝ මැතිව්ස් (25) සමග එක්ව 6 වැනි කඩුල්ල සඳහා පන්දු 33 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය. පන්දු 27 කදී වාර්තා වූ මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය. 

ලකුණු 3 ක් ඇතුළත දිනේෂ් චන්දිමාල් (1) සහ කමිඳු මෙන්ඩිස් (0) ආපසු ක්‍රීඩාගාරය බලා යැවීමට ගාල්ල පන්දු යවන්නන් සමත් වුවද, එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ඇන්ඩි්‍ර ෆ්ලෙචර් පන්දු 36 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 50 ක් රැස්කළේය. 

කාසියේ වාසිය දිනූ ගාල්ල මාවල්ස් කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. මෙම තරගයේදී  මල්ෂ තරුපති වෙනුවට කවිඳු නදීෂාන් ගාල්ල කණ්ඩායමටද, චතුරංග ද සිල්වා වෙනුවට ලක්ෂාන් සඳකැන් මහනුවර කණ්ඩායමටද කැඳවා සිටියහ. 


මහනුවර ෆෝල්කන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 175
(ඇන්ඩි්‍ර ෆ්ලෙචර් 50, ඇන්ජලෝ මැතිව්ස් 25, වනිඳු හසරංග නොදැවී 65, ඉසුරු උදාන 30/3, සහූර් ඛාන් 29/2)

ගාල්ල මාවල්ස් පිල - ඕවර 17.1 කදී කඩුලු 4 කට 176
(ඇලේක්ස් හේල්ස් 38, ටිම් සෙයිෆට් නොදැවී 82, භානුක රාජපක්ෂ 16, ෂොරිෆුල් ඉස්ලාම් 32/2) 


අදහස් (0)

සෙයිෆට් ගාල්ලේ ජය ඉක්මන් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.