Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙරීනාගේ තවත් සිහිනයක් බොඳවෙයි

සෙරීනාගේ තවත් සිහිනයක් බොඳවෙයි

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පුරා වසර 4 කට ආසන්න කාලයක් අන්තර්ජාතික කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණේ පසුවූ අමෙරිකාවේ සෙරීනා විලියම්ස් අමෙරිකා විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී චෙක් රාජ්‍යයේ කැරොලිනා ප්ලිස්කෝවා හමුවේ අත්කරගත් පරාජය නිසා සිය ආධිපත්‍යය බිඳ දමා ගත්තාය. කැරොලිනා හමුවේ ලකුණු 6-2 ක් සහ 7-5 ක් ලෙස සෙරීනා පරාජයට පත්වීමත් සමගම ජර්මනියේ ඇන්ජෙලිකා කේබර් ටෙනිස් පිටියේ නොම්මර එකේ ක්‍රීඩිකාව බවට පත්වූවාය.

ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි තැන පසුවන 24 හැවිරිදි කැරොලිනා ඊයේ සෙරීනා අන්ද මන්ද කරවමින් පුදුම සහගත ජයක් ලැබීම ඇන්ජලිකා කේබර්ට වාසනාව පෑදීමක් විය. කේබර් ඊයේ  පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් බෙල්ජියමේ කැරොලින් වොස්නියැකි පරාජය කරමින් අමෙරිකා විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහ තරගයට සූදුසුකම් ලබාගත්තාය.
 
පුරා සති 186 ක්ම කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සෙරීනාට ඉතිරිව තිබූ එකම ජයග්‍රහණය ඊයේ පැවැති අවසන් පූර්ව තරගය පමණි. අවසන් මහා තරගයට සුදුසුකම් ලබමින්  වැඩිම කාලයක් නොම්මර එකේ සිටි ක්‍රීඩිකාව ලෙස වාර්තාපොත අලුත් කිරීමට බලා සිටි සෙරීනාට අත්වූ අනපේක්ෂිත ඉරණමකි.

කැරොලිනා ප්ලිස්කෝවා

ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණ ගැනීම කොයි හැටි වෙතත් තව සති දෙකකින් සිය 35 වැනි උපන් දිනය සමරන මේ ටෙනිස් රැජන බලා සිටියේ ඇගේ 7 වැනි අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ අත්පත් කොට ලොව වැඩිම ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා දිනූ ක්‍රීඩිකාවගේ වාර්තාවට ආසන්න වීමටය.

මේ වන විටත් ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 22 ක් දිනාගනිමින් ජර්මනියේ ස්ටෙෆී ග්‍රාෆ්ගේ ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා වාර්තාව සමකර සිටින සෙරීනා පුල පුලා බලා සිටියේ එතෙක් මෙතෙක් ග්‍රෑන්ඞ් ස්ලෑම් කාණ්ඩයේ ශූරතා 24 ක් දිනා සිටින ඔස්ට්‍රේලියාවේ මාගරට් කෝට්ගේ අසමසම වාර්තාවට කිට්ටුවීමටය.  

මේ පරාජයත් සමග පිට පිට දෙවැනි වරටත් අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත්වූ සෙරීනා තරග වදිමින් සිටින්නේ ටෙනිස් පන්දුව සමග පමණක් නොව නව පරම්පරාවකුත් සමගය. පසුගිය වසරේ තරගාවලියේදී ඇය පරාජයට පත්වූයේ ඉතාලියේ රොබේටා වින්සි අතිනි.

“කැරොලිනා අද හොඳට සෙල්ලම් කළා” තරගයේ පරාජයෙන් පසුව සෙරීනා කීවේ වේදනාව සඟවා ගනිමිනි.
“මගේ වම් දණහිසේ අමාරුවකුත් එක්කයි අද සෙල්ලම් කළේ. ඒක නිදහසට කාරණාවක් නොවන බවත් මං දන්නවා. පහරවල් ගැන හිතන්නේ නැතුව දණහිස ගැන හිතන්න ගිහින් තමයි මට මේ දේ වුණේ....ඔක්කොම වුණේ මගේ මානසිකත්වය වෙනස් වුණු නිසයි. කවදාවත් නොවැරැදෙන ලෙහෙසි පහරවල් කැරොලිනා ඉදිරියේ වරදිද්දී මං ඒ ගැන වැඩිපුර හිතන්න ගියා. ඒකයි වුණේ” යයිද සෙරීනා කීවාය.

මේ අසහාය ක්‍රීඩිකාව පරාජයට පත්කළ චෙක් රාජ්‍යයේ කැරොලිනා ප්ලිස්කෝවා ඇයට වඩා අවුරුදු 10 කින් බාල, මීට පෙර කිසිදිනෙක ග්‍රෑන්ඞ් ස්ලෑම් වැනි ප්‍රධාන පෙලේ තරගාවලියක තුන්වැනි වටයෙන් එහාට නොගිය ක්‍රීඩිකාවකි. ඊයේ සෙරීනා පරාජය කිරීමත් සමග වෙනම වාර්තාවක් තැබීමට ඇය සමත්වූවාය.

මාටිනා හින්ගිස්, ජස්ටින් හෙනින් සහ කිම් ක්ලියෙස්ටර්ස්ගෙන් පසුව කලක් ලෝක කාන්තා ටෙනිස් පිටිය සියතට ගෙන සිටි විලියම්ස් සොයුරියන් දෙදෙනාවම එකම තරගාවලියක දී පරාජය කළ සිවුවැනි ක්‍රීඩිකාව ලෙස ඇය අමුතු වාර්තාවක් තැබුවාය.

මෙවර අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ සිවුවැනි වටයේදී සෙරීනාගේ වැඩිමල් සොයුරිය වීනස් විලියම්ස් මේ චෙක් ක්‍රීඩිකාව හමුවේ පරාජයට පත්වූයේ ලකුණු 4-6 ක්, 6-4 ක් සහ 7-6 ක් ලෙසිනි.

කෙසේ වෙතත් සෙරීනා පරාජය කිරීමත් සමග ඇය කළ ප්‍රකාශය එක් අතකින් සෙරීනාගේ දස්කම් හෑල්ලුවට පත්වූ එකක් මෙන්ම අනිත් අතට දශක දෙකක කාලයක් පුරා කාන්තා ටෙනිස්  පිටියේ විලියම්ස් සොයුරියන්ගේ බලකොටුව කුඩුපට්ටම් කර දැමීමකි.

‘අපෝ...සිවුවැනි වටයේ දී වීනස් පරද්දන්න මට මීට වඩා අමාරු වුණා. වීනස් තමයි අමාරුකාරිය..” යයි කැරොලිනා ප්ලිස්කෝවා කියා සිටියාය. ඇය මේ කියන්නේ විලියම්ස්ලාගේ ටෙනිස් ආධිපත්‍යය බඳ වැටෙමින් තිබෙන බවද?


- 077

 


අදහස් (0)

සෙරීනාගේ තවත් සිහිනයක් බොඳවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.