Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙරීනා නැති විම්බල්ඩන් පිටියේ වීනස් පෙරට පනී

සෙරීනා නැති විම්බල්ඩන් පිටියේ වීනස් පෙරට පනී

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතාවක් දිනූ වයස්ගතම ක්‍රීඩිකාව බවට පත්වීමේ සිහිනය දකිමින් සිටින අමෙරිකාවේ වීනස් විලියම්ස් අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ කාන්තා කේවල අවසන් මහා තරගයට එක්වන්නීය.

දැනට 37 හැවිරිදි වියෙහි පසුවන වීනස් අද හවස බිඳ දැමීමට බලාපොරොත්තු වන්නේ ඇගේම බාල නැගණිය සෙරීනා විලියම්ස් පසුගිය ජනවාරියේ ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් කිරුළ දිනා එවැනි හපන්කමක් කළ ලොව වයස්ගතම ක්‍රීඩිකාව ලෙස තැබූ වාර්තාවයි. ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් කිරුළ දිනද්දී සෙරීනාගේ වයස අවුරුදු 35 යි දින 125 කි. වීනස්ගේ වයස අදට අවුරුදු 37 කුත්, දින 28 කි.

සෙරීනා තරම් හැඩිදැඩි ක්‍රීඩිකාවක් නොවන වීනස්ට ඇත්තේ තරමක් කෙසඟ සිරුරකි. ඇයගේ ප්‍රතිවාදිනිය වන්නේද වසර දෙකකට ඉහතදී සෙරීනාට පරාජය වූ ගාබීන් මුගුරූසාය.

මීට දින අටකට කළින් ලන්ඩන් නුවර ඕල්ඞ් ඉන්ග්ලන්ඞ් ක්ලබ් හී දී ආරම්භ වූ මෙවර විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගය දක්වා පැමිණි ගමන් මග අතරතුර මේ වයස්ගත ක්‍රීඩිකාව 1997 වසරේ උපන් නාඹර ක්‍රීඩිකාවන් තිදෙනෙකුම පරාජයට පත් කළාය. 1997 වසර යනු වීනස් පළමු වරට විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියට ක්‍රීඩා කළ වසර වීම කැපී පෙනෙන කාරණාවකි.

‘මම වයස ගැන හිතන්නේ නෑ‘ සිරුරින් මෙන්ම මනසින් ද ශක්තිමත් බව උපරිමයෙන් පෙන්වමින් සිටින මේ ක්‍රීඩිකාව ඊයේ එසේ කීවාය.

ඇය 1994 දී මාටිනා නව්රතිලෝවාගෙන් පසුව විම්බල්ඩන් අවසන් මහා තරගයට එක්වූ වයස්ගතම ක්‍රීඩිකාව ලෙස දැනටමත් වාර්තපොතට එක්වී සිටින්නීය.

වසර 2000 සිට 2009 දක්වා කාලය අතරතුර විම්බල්ඩන් ටෙනිස් පිටිය සසළ කළ වීනස් විලියම්ස් ඒ කාලය තුල ශූරතා 5ක්ම දිනාගත් අතර අනුශූරතා 3 කුත් ගෙදර ගෙන ගියාය. එතෙක් මෙතෙක් ග්‍රෑන්ඞ් ස්ලැම් ටෙනිස් ශූරතා 7කට හිමිකම් කියන වීනස් 2008 වසරින් පසුව තවම එවැනි හපන්කමක් පෙන්වා නැතිවීමත් විශේෂත්වයකි.

වත්මන් කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ 10 වැනි තැන සිටින වීනස් සමග අද තරගයට ක්‍රීඩා කරන්නේ පසුගිය වසරේදී ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ දිනූ වත්මන් ශ්‍රේණිගත කිරීම්වල 14 වැනි තැන සිටින ගාබීන් මුගුරූසාය. ඇය මේ තරගාවලියේදී පෙරළිකාර ක්‍රීඩා විලාශයක නිරතවූ අතර සිවුවැනි වටයේදී වත්මන් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන ඇන්ජලික් කේබර් පරාජය කිරීමට සමත්වූවාය. ඇය අවසන් තරගයට පිවිසියේ අර්ධ අවසන් පූර්ව වටයේදී 7 වැනි තැන පසුවන ස්වෙට්ලානා කුසනොට්සෝවා පරාජයට පත් කරමිනි.

ඇය වසර 2015 දීත් විම්බල්ඩන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර එහිදී සෙරීනා විලියම්ස් හමුවේ පරාජයට පත්ව අනුශුරතාවයෙන් පමණක් සෑහීමකට පත්වීමට සිදුවිය. අද ඇගේ අරමුණ වී ඇත්තේ මංගල විම්බල්ඩන් කිරුළ දිනා සෙරීනාගේ වැඩිමල් සොයුරිය පරදවා නංගිගෙන් ලැබූ පරාජයේ වාඩුව අක්කාගෙන් ගැනීමටය. එසේ වුවත් වීනස්ගේ හැකියාව ගැන මුගුරූසාට ඇත්තේ පුදුමයකි.

“මේ ක්‍රීඩාව ගැන වීනස්ට ඇති උනන්දුවත්, හැකියාවත් පුදුම දෙයක්. ඇය තවමත් කෙල්ලෙක් වගේ වැඩ දානවා. කොච්චර තරග දින්නත් එයාගේ තරග දිනීමේ පිපාසය තවමත් එහෙමමයි. අපෝ මම නම් හිතන්නෙ නෑ අවුරුදු 37 වෙද්දී මම නම් මේ විදිහට සෙල්ලම් කරාවි කියලා.” මුගුරූසා එසේ කීවාය.

 

සැකසුම - මොහාන් ප්‍රනාන්දු

 


අදහස් (0)

සෙරීනා නැති විම්බල්ඩන් පිටියේ වීනස් පෙරට පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.