Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිතු දේ නොමවේ, නොසිතු දෙයක් වේ...

සිතු දේ නොමවේ, නොසිතු දෙයක් වේ...

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ලෝක කුසලාන තරගාවලි දෙකට සහභාගි වෙමින්, තරග 20 කදී ලකුණු 693 ක් රැස්කර, තරගයකදී ලකුණු 38.50 ක සාමාන්‍යයක් රඳවාගෙන සිටි උපුල් තරංග අවසන් මොහොතේදී ලෝක කුසලාන සංචිතයෙන් විසිවී ගියේ කිසිවකු අපේක්‍ෂා නොකළ අයුරිනි. එහෙත් කිසිවකු අපේක්‍ෂා නොකළ අයුරින්ම උපුල් තරංග නැවතත් ලෝක කුසලාන දොරටුව අබියසටම පැමිණ සිටී.

උපුල් තරංග වහාම මෙල්බර්න් නුවරට එවන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවත්, නායක ඇන්ජලෝ මැතිව්ස් සහ පුහුණුකරු මාවන් අතපත්තුත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් ඉල්ලා තිබේ. අවශ්‍ය වුවහොත් බංග්ලාදේශ පිලට එරෙහිව මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී හෙට (26 වැනිදා) තරග වැදීමට නියමිත ශී‍්‍ර ලංකා කණ්ඩායමට උපුල් තරංග එක්කර ගැනීමට නියමිතය.  

උපුල් තරංග නැවතත් කණ්ඩායමට එක්වේ නම් ඒ ජීවන් මෙන්ඩිස් වෙනුවෙනි. ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති තරගයේදී තිසර පෙරේරා සමග එක්ව ශී‍්‍ර ලංකා පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගිය ජීවන් මෙන්ඩිස් එම තරගයේදී නොදැවී ලකුණු 9 ක් ලබාගත් නමුත් පුහුණුවීම් වලදී තුවාල ලැබීය.

තුවාල ලද ජීවන් මෙන්ඩිස්ගේ තත්ත්වය සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය ලැබෙන තුරු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විමසිල්ලෙන් පසුවෙයි. මෙම නිර්දේශය අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වෛද්‍යවරුන් විසින් තරගාවලියේ තාක්‍ෂණික කමිටුව වෙත යොමු කිරීමෙන් අනතුරුව ජීවන් මෙන්ඩිස් කණ්ඩායමෙන් නිදහස් කිරීම පිළිබඳ අවසන් තීරණය ලැබෙනු ඇත.

කෙසේ වෙතත් අවසන් මොහොතේදී ඇතිවිය හැකි ප‍්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස උපුල් තරංග මෙල්බර්න් නුවරට එවන ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉල්ලීමක් කර තිබේ.

ජීවන් මෙන්ඩිස් සම්බන්ධයෙන් දෙන ලද මූලික වෛද්‍ය වාර්තා වලින් දැක්වෙන්නේ ඔහු නැවතත් සුපුරුදු සුවයට පැමිණීම සඳහා අවම වශයෙන් දින 10 ක් වත් ගතවිය හැකි බවයි. එහෙත් මෙන්ඩිස්ගේ ආබාධය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීම සඳහා තවත් වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයක් කළ යුතු බව අන්තර්ජාතික කි‍්‍රකට් සභා නිලධාරීහු කියති.

මෙවර ලෝක කුසලාන තරගාවලියට ජීවන් මෙන්ඩිස් එක්වූයේ පසුපෙළ පිතිකරුවකු මෙන්ම අවස්ථානුකූල පන්දු යවන්නකු වශයෙනි. එහෙත් ඔහුට  ඕවර 10 ක් යැවීමේ වගකීම පැවරුණහොත් ඒ අවස්ථානුකූලව තත්ත්වය විමසීමෙන් පසුවය.

මේ අතර කණ්ඩායමේ පිතිහරඹයද හොඳටම දුර්වල වී තිබේ. ආරම්භක පිතිකරුවකු වශයෙන් කණ්ඩායමට එක්වූ දිමුත් කරුණාරත්න දිගින් දිගටම අසාර්ථක වීමත්, විශේෂයෙන්ම ඇෆ්ඝනිස්ථානු පිලට එරෙහිව ඩනෙඩින්හිදී පැවැති තරගයේදී දැවී ගිය ආකාරය පිළිබඳවත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයෝ මෙන්ම තේරීම් කමිටුවද මහත් කණස්සල්ලෙන් පසුවෙති.

මේ අනුව යම් හෙයකින් ජීවන් මෙන්ඩිස්ට තවදුරටත් තරගාවලියේ රැඳී සිටින නොහැකි වුවහොත් කණ්ඩායමේ පිතිහරඹය ශක්තිමත් කිරීම සඳහා ශී‍්‍ර ලංකා පිලට තිබෙන හොඳම විකල්පය වන්නේ උපුල් තරංග නැවතත් කණ්ඩායමට කැඳවීමයි.

බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැති 2007 ලෝක කුසලාන තරගාවලියේදී උපුල් තරංග එහිදී තරග 11 කදී ලකුණු 298 ක් ලබාගත් අතර 2011 ලෝක කුසලාන තරගාවලියේදී ශතක දෙකක්ද සමගින් තරග 9 ක දී ලකුණු 395 ක් ලබාගැනීමට සමත් විය.


අදහස් (3)

සිතු දේ නොමවේ, නොසිතු දෙයක් වේ...

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.