Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සියවස් පැරණි ‘අළු බඳුන’ අරගලය

සියවස් පැරණි ‘අළු බඳුන’ අරගලය

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A


එය වසර 1882 ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පිලේ එංගලන්ත සංචාරයේ ලන්ඩනයේ  ඕවල් පිටියේ පැවැති තරගය විය. ලකුණු රැස් කිරීමට ඉතා දුෂ්කර එම කඩුල්ලේ දෙපිලම ලැබුවේ අඩු ලකුණු සංඛ්‍යාවකි.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානුවන් රැස් කළේ ලකුණු 63 ක් පමණි. පිළිතුරු ලෙස ඒ. එන්. හෝන්බයිගේ නායකත්වයෙන් යුතු එංගලන්තයේ පළමු ඉනිම දිස්වූයේ ලකුණු 101 ක් ලෙසිනි. ඔස්ටේ‍්‍රලියාවේ දෙවැනි ඉනිම වර්ණවත් කළ හෆ් මෙසී පන්දු 60 ක දී ලකුණු 55 ක් රැස් කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 122 දක්වා ඉහළ දැමූවේය.

ඒ අනුව ජයග‍්‍රහණය සඳහා එංගලන්තයට හඹා යා යුතුව තිබුණේ ලකුණු 85 ක් වැනි සුළු ලකුණු සංඛ්‍යාවක් පමණි. එහෙත් ප‍්‍රතිවාදී පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කළ ඔස්ටේ‍්‍රලියාවේ වේගපන්දු යවන ෆ්‍රෙඞ් ස්පෝෆෝර්ත් එංගලන්ත දෙවැනි ඉනිම සුණුවිසුණු කිරීමට සමත්විය. එවකට එංගලන්ත පිලේ හිටපු විශිෂ්ටතම පිතිකරු දොස්තර ඩබ්. ජී. ගේ‍්‍රස්ගේ කඩුල්ල ද ඒ අතර තිබිණි.

දැවී ගියද ලෙහෙසියෙන් කඩුල්ල අතහැර නොයන දොස්තර ගේ‍්‍රස්ට පවා ඒ මොහොතේ දී කළ හැකි දෙයක් තිබුණේ නැත. ”මේ වගේ දේවල් සිද්ධ වෙනවා” යැයි කියමින් ඔහු නැවත ක‍්‍රීඩාගාරයට හැරී ගියේය. අවසානයේ දී ජයග‍්‍රහණය සඳහා තවත් ලකුණු 8 ක් ඉතිරිව තිබියදී එංගලන්ත ඉනිම නිමාවට පත්වූ අතර ස්පෝෆෝර්ත් සිය අවසන් කඩුලූ හතර දවාගත්තේ ලකුණු දෙකක් පමණක් වැය කරමිනි.

එංගලන්ත ඉනිමේ අවසන් පිතිකරු ලෙස ටෙඞ් පීට් පිටියට එද්දී ජයග‍්‍රහණය සඳහා ලකුණු 10 ක් අවශ්‍ය වී තිබිණි. හැරී බොයිලිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීයාමට පෙර යාන්තම් ලකුණු දෙකක් රැස් කිරීමට පීට් සමත්විය. ඒ මොහොතේ  ඕවල් පිටියේ රැස්ව සිටි එංගලන්ත ක‍්‍රීඩාලෝලීන් සිය කණ්ඩායමේ පරාජය අදහාගත නොහැකිව අයාගත් මුවින් යුතුව බලා සිටියහ. එංගලන්ත භූමියේ දී ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලද පළමු ටෙස්ට් ජයග‍්‍රහණය එය විය.

එංගලන්ත ඉනිමේ අවසන් පිතිකරු ලෙස දැවීයාමෙන් පසුව නැවත ක‍්‍රීඩාගාරයට පැමිණි පීට් සිය නායකයාගේ දැඩි දෝෂාදර්ශනයට හසුවිය. තණතීරුවේ අනිත් අන්තයේ සිටි එවකට එංගලන්ත පිලේ හිටපු විශිෂ්ට පිතිකරුවකු වූ චාල්ස් ස්ටඞ්ට පන්දුවට මුහුණදීමට පීට් අවස්ථාවක් ලබා නොදීම ගැන ඔහු වියරු වැටී සිටියේය. ඊට පිළිතුරු ලෙස පීට් සිය නායකයාට මෙසේ කීවේය.

‘සර්...මට ස්ටඞ් මහත්මයා ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නෑ. ඉතින් මට කළ හැකි උපරිම දේ මම කළා.‘

පසුදින බි‍්‍රතාන්‍ය  මාධ්‍යය තුළින් සිය කණ්ඩායමේ පරාජය ඉතා දරුණු ලෙස පතුරු ගසා තිබිණි. එමෙන්ම ආගන්තුකයන් වන ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉහළින් පැසසුමට ලක් කිරීමට ද අමතක නොකළේය. අගෝස්තු 31 වැනිදා ප‍්‍රකාශයට පත් කරන ලද ක‍්‍රිකට් සඟරාවේ එම පරාජය විග‍්‍රහ කොට තිබුණේ අපහාසාත්මක මරණ දැන්වීමක් ලෙසටය.

‘ක‍්‍රිකට් පිටියේ එංගලන්ත පිලේ ශ්‍රේෂ්ඨත්වය අගෝස්තු මස 29 වැනිදා අවසන් හුස්ම හෙළුවේය. පීට්ගේ දැවීයාමත් සමග එය නිමාවට පත්විය.‘

ඊට දිනකට පසුව ‘ද ස්පෝර්ටින් ටයිම්ස් ‘ පුවත්පත මේ අපහාසාත්මක මරණ දැන්වීම වඩාත් තියුණු ආකාරයෙන් සටහන් කොට තිබිණි.

”1882 අගෝස්තු මස 29 වැනිදා  ඕවල් පිටියේ දී මිය ගිය ඉංග‍්‍රීසි ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ආදරණීය අනුස්මරණයයි මේ. මිතුරන් සහ දන්නා හඳුනන අයගේ සංවේගය මෙසේ පුද කර සිටිමු. ඉංග‍්‍රීසි ක‍්‍රිකට් ක‍්‍රීඩාව සමාදානයේ සැතපේවා..!

”පසුව ලියමු. සිරුර ආදාහනය කරනු ලබන අතර භෂ්මාවශේෂ ඔස්ටේ‍්‍රලියාවට රැගෙන යනු ඇත” ඔබ අප කවුරුත් දන්නා එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර සුප‍්‍රකට ‘අළුබඳුන’ ටෙස්ට් තරගමාලාවේ පුරාවෘත්තය එයයි.

දෙපිල අතර පළමු ටෙස්ට් තරගය 1877 වසරේ දී මෙල්බර්න් නුවර දී පැවැතිය ද  අළුබඳුන ටෙස්ට් තරගමාලාව ආරම්භ වන්නේ ඊට වසර පහකට පසුවය. ඒ වනවිට දෙපිල අතර ටෙස්ට් තරග 9 ක්ම පවත්වා තිබිණි.  

මීට වසර 133 කට පෙර එසේ බිහිවූ ක‍්‍රිකට් පිටියේ සම්ප‍්‍රදායික පසමිතුරන්ගේ ටෙස්ට් තරගමාලාව එතෙක් මෙතෙක් ලොව වඩාත්ම කතාබහට ලක්වූ තරගමාලාව බවට පත්වී තිබේ. ක‍්‍රිකට් ක‍්‍රීඩාව බිහිවූ එංගලන්ත භුමියේදීම ඔවුන්ට ලැජ්ජා සහගත පරාජයක් අත්කර දුන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම නැවත සිය රට බලා ගියේ යුද සංග‍්‍රමයෙන් ජයගත් අභිත රණවිරුවන් ලෙසටය.

එය එංගලන්ත පිලට දැඩි අවමානයක් ගෙනදුන් පරාජයකි. උණුසුම එතැනින් පහව ගියේ නැත. ඊළඟ වසරේ එනම් 1883 දී එංගලන්ත පිලේ ඔස්ටේ‍්‍රලියානු සංචාරය යෙදී තිබිණි. එම තරගාවලිය ජයගෙන එංගලන්ත පිලේ පරාජයේ භෂ්මාවශේෂ නැවතත් එංගලන්තයට රැගෙන එන බවට කණ්ඩයාමේ නව නායක අයිවෝ බ්ලයි පොරොන්දු වී තිබිණි.

එංගලන්ත පිලේ නායකයාගේ මේ ප‍්‍රකාශයත් සමග බි‍්‍රතාන්‍ය මාධ්‍යය ඔවුන්ගේ තරග සංචාරය හැඳින්වූයේ ‘පරාජයේ භෂ්මාවශේෂ සහිත ‘අළු බඳුන’ නැවත අත්පත් කරගැනීමේ ගවේෂණ චාරිකාව‘ ලෙසටය. නිල වශයෙන් අළුබඳුන ටෙස්ට් තරගමාලාවේ ආරම්භය සටහන් වන්නේ එම තරගමාලාවෙනි.

කාගෙත් නෙත් සිත් යොමුවූ එම සංචාරයේ පැවැති ටෙස්ට් තරගමාලාව නායකයා කියූ පරිද්දෙන්ම තරග 2-1 කින් ජයගැනීමට එංගලන්ත සමත්විය.

එම ජයග‍්‍රහණයෙන් පසුව මෙල්බර්න් කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකාව ලෙස කටයුතු කරමින් සිටි ෆ්ලෝරන්ස් මෝර්ෆි නමැති සුන්දර යුවතිය සිය කණ්ඩායම සමග පැමිණ එංගලන්ත නායකයා හමුවී ඔහුට සුබපතමින් කුප්පියක හැඩය ගත් අගල් 6 ක් පමණ උසැති කුඩා පූනෑවක් තෑගි කළාය. දෙදෙනාගේ හමුවීම ‘පළමු දැකීමෙන් පේ‍්‍රමය උපදින‘ බවට ප‍්‍රකට කියමන සනාථ කළ එකකි. එම හමුවෙන් වසරකට පසුව අයිවෝ බ්ලයි හා අතිනත ගත් ෆ්ලෝරන්ස් එංගලන්තයේ පදිංචියට ගියාය.
 
ෆ්ලෝරන්ස් විසින් එංගලන්ත නායකයාට තෑගි කරනු ලැබූ එම කුඩා බඳුන ඔස්ටේ‍්‍රලියානු පරාජයේ භෂ්මාවශේෂ තැන්පත් කළ බඳුන බවට පසුව මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධියට පත් කළේය. ඊට වසර 44 කට පසුව,  එනම් 1927 දී අයිවෝ බ්ලයිගේ අභාවය සිදුවූ අතර ඒ වනවිට ඔහු ඩාන්ලේහි සාමිවරයා ලෙස ගෞරවනීය තත්ත්වයට පත්ව සිටියේය. ඔහුගේ අභාවයෙන් පසුව බිරිය ෆ්ලෝරන්ස් ඔස්ටේ‍්‍රලියානු පරාජය සටහන් කළ එම බඳුන මාර්ලිබෝන් ක‍්‍රිකට් සමාජයට පරිත්‍යාග කළාය.

එංගලන්තය හා ඔස්ටේ‍්‍රලියාව අතර පැවැති ටෙස්ට් තරගමාලා ‘අළුබඳුන’ ටෙස්ට් තරගාවලිය ලෙස සංඛේතාත්මකව හඳුන්වනු ලැබුවත් එදා ඇය විසින් බ්ලයිට පෞද්ගලික තෑග්ගක් ලෙස පිරිනමා තිබූ මේ පූනෑව කිසිදිනෙක දෙපිල අතර පැවැති ටෙස්ට් තරගමාලාවේ නිල කුසලානය බවට පත්වී තිබුණේ නැත.

කෙසේව වෙතත් 1998 වසරේ සිට අළුබඳුන සිහිපත් කරමින් පළිඟුවෙන් තැනූ එහි ආකෘතියක් දෙපිල අතර පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවේ ජයග‍්‍රාහකයන්ට පිරිනැමීමට නිල වශයෙන් කටයුතු යොදා තිබිණි. තරගාවලිනේ කවුරුන් ජයගත්තද පෞරාණික අළුබඳුන හැමවිටම තැන්පත් කොට තිබුණේ ලෝඞ්ස් පිටියේ පිහිටි මාර්ලිබෝන් ක‍්‍රිකට් සමාජයේ කෞතුකාගාරයේය. එහෙත් එංගලන්ත කණ්ඩායම ඔස්ටේ‍්‍රලියානු සංචාරයක නිරතවූ අවස්ථා දෙකක දී පමණක් එය ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රදර්ශනය සඳහා ගෙනගොස් තිබිණි.

දෙපිල අතර ඔස්ටේ‍්‍රලියාවේ පළමුවරට පැවැති ටෙස්ට් තරගමාලාවේ අවසන් තරගයට යොදාගත් කඩුල්ලක ඉණි මත තිබූ බේල දවා ලබාගත් අළු එම බඳුනේ තැන්පත්ව ඇතැයි දීර්ඝ කාලයක් තිස්සේ දැඩි විශ්වාසයක් පැවැතියේය. එහෙත් ඩාන්ලේ සාමිවරයාගේ 82 හැවිරිදි ලේලියක මෑතක දී පවසා ඇත්තේ එම බඳුනේ තැන්පත් කොට ඇත්තේ ක‍්‍රිකට් බේල්සයක අළු නොව ඇගේ නැන්දණිය වන ෆ්ලෝරන්ස්ගේ සිනිඳු මුහුණු වැස්මක (වේලයක) අළු බවය.

මේ අතර තවත් කරුණු වලින් කියැවෙන්නේ එම බඳුනේ ක‍්‍රිකට් පන්දුවක අළු තැන්පත්ව ඇති බවකි. මෙවැනි කරුණු හේතුවෙන් අළුබඳුනේ අන්තර්ගතය පිළිබඳව ඇත්තේ නිශ්චිත මතයක් නොවන බව පෙනී යයි.

සම්ප‍්‍රදායික අළුබඳුන තරගමාලාවට ටෙස්ට් තරග 5 ක් ඇතුළත්ය. 2013 වසරේ එංගලන්තයේ පැවැති තරගමාලාවේ තරග පහම ජයගත් ඔස්ටේ‍්‍රලියාව අළුබඳුනේ හිමිකරුවන් විය. 2013-14 ඔස්ටේ‍්‍රලියාවේ පැවැති තරගමාලාවේ දී නැවත ජය අත්කර ගැනීමට ඔවුහු සමත්වූහ.

එතෙක් මෙතෙක් ඉතිහාසයේ පැවැති අළුබඳුන ටෙස්ට් තරගාවලි සංඛ්‍යාව 68 කි. ඉන් තරගාවලි 32 ක් ජයගැනීමට ඔස්ටේ‍්‍රලියාව සමත්වූ අතර එංගලන්තයට තරගාවලි 31 ක ජය  හිමිවිය. තවත් තරගාවලි පහක් ජයපරාජයකින් තොරව නිමාවට පත්ව තිබේ.

මේ වසරේ ජූලි මස 8 වැනිදා එංගලන්තයේ කාඞීෆ් නුවරදී ආරම්භ වන අළු බඳුන තරගාවලියත් පෙර පැවැති තරගාවලි මෙන්ම ඉතාමත් උණුසුම් තරගාවලියක් වනු නිසැකය.

 

අළුබඳුන තරගාවලියේ ජයග්‍රාහකයෝ

වසර සත්කාරක රට තරග ඔස්ටේ‍්‍රලියාව එංගලන්තය විසඳුම් නැති ශූරතාව
1882-83 ඔස්ටේ‍්‍රලියාව 3 1 2 0 එංගලන්තය
1884 එංගලන්තය 3 0 1 2 එංගලන්තය
1884-85 ඔස්ටේ‍්‍රලියාව 5 2 3 0 එංගලන්තය
1886 එංගලන්තය 3 0 3 0 එංගලන්තය
1886-87 ඔස්ටේ‍්‍රලියාව 2 0 2 0 එංගලන්තය
1887-88 ඔස්ටේ‍්‍රිලියාව 1 0 1 0 එංගලන්තය
1888 එංගලන්තය 3 1 2 0 එංගලන්තය
1890 එංගලන්තය 2 0 2 0 එංගලන්තය
1891-92 ඔස්ටේ‍්‍රලියාව 3 2 1 0 ඔස්ටේ‍්‍රලියාව
1893 එංගලන්තය 3 0 1 2 එංගලන්තය
1894-95 ඔස්ටේ‍්‍රලියාව 5 2 3 0 එංගලන්තය
1896 එංගලන්තය 3 1 2 0 එංගලන්තය
1897-98 ඔස්ටේ‍්‍රලියාව 5 4 1 0 ඔස්ටේ‍්‍රලියාව
1899 එංගලන්තය 5 1 0 4 ඔස්ටේ‍්‍රලියාව
1901-02 ඔස්ටේ‍්‍රලියාව 5 4 1 0 ඔස්ටේ‍්‍රලියාව
1902 එංගලන්තය 5 2 1 2 ඔස්ටේ‍්‍රලියාව
1903-04 ඔස්ටේ‍්‍රලියාව 5 2 3 0 එංගලන්තය
1905 එංගලන්තය 5 0 2 3 එංගලන්තය
1907-08 ඔස්ටේ‍්‍රලියාව 5 4 1 0 ඔස්ටේ‍්‍රලියාව
1909 එංගලන්තය 5 2 1 2 ඔස්ටේ‍්‍රලියාව
1911-12 ඔස්ටේ‍්‍රලියාව 5 1 4 0 එංගලන්තය
1912 එංගලන්තය 3 0 1 2 එංගලන්තය
1920-21 ඔස්ටේ‍්‍රලියාව 5 5 0 0 ඔස්ටේ‍්‍රලියාව
1921 එංගලන්තය 5 3 0 2 ඔස්ටේ‍්‍රලියාව
1924-25 ඔස්ටේ‍්‍රලියාව 5 4 1 0 ඔස්ටේ‍්‍රලියාව
1926 එංගලන්තය 5 0 1 4 එංගලන්තය
1928-29 ඔස්ටේ‍්‍රලියාව 5 1 4 0 එංගලන්තය
1930 එංගලන්තය 5 2 1 2 ඔස්ටේ‍්‍රලියාව
1932-33 ඔස්ටේ‍්‍රලියාව 5 1 4 0 එංගලන්තය
1934 එංගලන්තය 5 2 1 2 ඔස්ටේ‍්‍රලියාව
1936-37 ඔස්ටේ‍්‍රලියාව 5 3 2 0 ඔස්ටේ‍්‍රලියාව
1938 එංගලන්තය 4 1 1 2 -
1946-47 ඔස්ටේ‍්‍රලියාව 5 3 0 2 ඔස්ටේ‍්‍රලියාව
1948 එංගලන්තය 5 4 0 1 ඔස්ටේ‍්‍රලියාව
1950-51 ඔස්ටේ‍්‍රලියාව 5 4 1 0 ඔස්ටේ‍්‍රලියාව
1953 එංගලන්තය 5 0 1 4 එංගලන්තය
1954-55 ඔස්ටේ‍්‍රලියාව 5 1 3 1 එංගලන්තය
1956 එංගලන්තය 5 1 2 2 එංගලන්තය
1958-59 ඔස්ටේ‍්‍රලියාව 5 4 0 1 ඔස්ටේ‍්‍රලියාව
1961 එංගලන්තය 5 2 1 2 ඔස්ටේ‍්‍රලියාව
1962-63 ඔස්ටේ‍්‍රලියාව 5 1 1 3 -
1964 එංගලන්තය 5 1 0 4 ඔස්ටේ‍්‍රලියාව
1965-66 ඔස්ටේ‍්‍රලියාව 5 1 1 3 -
1968 එංගලන්තය 5 1 1 3 -
1970-71 ඔස්ටේ‍්‍රලියාව 6 0 2 4 එංගලන්තය
1972 එංගලන්තය 5 2 2 1 -
1974-75 ඔස්ටේ‍්‍රලියාව 6 4 1 1 ඔස්ටේ‍්‍රලියාව
1975 එංගලන්තය 4 1 0 3 ඔස්ටේ‍්‍රලියාව
1977 එංගලන්තය 5 0 3 2 එංගලන්තය
1978-79 ඔස්ටේ‍්‍රලියාව 6 1 5 0 එංගලන්තය
1981 එංගලන්තය 6 1 3 2 එංගලන්තය
1982-83 ඔස්ටේ‍්‍රලියාව 5 2 1 2 ඔස්ටේ‍්‍රලියාව
1985 එංගලන්තය 6 1 3 2 එංගලන්තය
1986-87 ඔස්ටේ‍්‍රලියාව 5 1 2 2 එංගලන්තය
1989 එංගලන්තය 6 4 0 2 ඔස්ටේ‍්‍රලියාව
1990-91 ඔස්ටේ‍්‍රලියාව 5 3 0 2 ඔස්ටේ‍්‍රලියාව
1993 එංගලන්තය 6 4 1 1 ඔස්ටේ‍්‍රලියාව
1994-95 ඔස්ටේ‍්‍රලියාව 5 3 1 1 ඔස්ටේ‍්‍රලියාව
1997 එංගලන්තය 6 3 2 1 ඔස්ටේ‍්‍රලියාව
1998-99 ඔස්ටේ‍්‍රලියාව 5 3 1 1 ඔස්ටේ‍්‍රලියාව
2001 එංගලන්තය 5 4 1 0 ඔස්ටේ‍්‍රලියාව
2002-03 ඔස්ටේ‍්‍රලියාව 5 4 1 0 ඔස්ටේ‍්‍රලියාව
2005 එංගලන්තය 5 1 2 2 එංගලන්තය
2006-07 ඔස්ටේ‍්‍රලියාව 5 5 0 0 ඔස්ටේ‍්‍රලියාව
2009 එංගලන්තය 5 1 2 2 එංගලන්තය
2010-11 ඔස්ටේ‍්‍රලියාව 5 1 3 1 එංගලන්තය
2013 එංගලන්තය 5 0 3 2 එංගලන්තය
2013-14 ඔස්ටේ‍්‍රලියාව 5 5 0 0 ඔස්ටේ‍්‍රලියාව

අදහස් (2)

සියවස් පැරණි ‘අළු බඳුන’ අරගලය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.