Last Update  :  2024-12-25 15:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැරී බෲක් එංගලන්තය ගොඩගනී
ක්‍රයිස්ට්චර්ච් ටෙස්ට් තරගය

හැරී බෲක් එංගලන්තය ගොඩගනී

editorial - 2024 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

තවමත් 25 හැවිරිදි වියේ පසුවන හැරී බෲක් එංගලන්ත කණ්ඩායමේ අනාගත පිතිකරුවාය. ඔහු බිය යනු කුමක්ද යන්න නොහඳුනන්නෙකි. තත්ත්වය කුමක් වුවත් හැරී හැරීගේ ක්‍රමයට යන අයෙකි. එංගලන්ත පිලේ කඩුලු 4 ක් ලකුණු 71 කට බිඳ වැටී තිබියදී ඒ ගැන තඹයකට මායිම් නොකළ හැරී බෲක් ලබාගත් ශතකය නිසා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසානයේදී එංගලන්තය කඩුලු 5 කට 319 ක් ලබා සිටියේය. 

ඔලී පෝප් (77) සමගින් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 151 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ හැරී බෲක් (නොදැවී 132) නායක බෙන් ස්ටෝක්ස් සමගින් එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 97 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවා තිබේ. කඩුලු 5 ක් අතැතිව සිටින එංගලන්ත ක්‍රීඩකයෝ තවමත් නවසීලන්තයට වඩා ලකුණු 29 ක් පසුපසින් සිටිති. 

ඔලී පෝප් දවාගැනීමට ගලී හි සිටි ග්ලෙන් පිලිප්ස් විසින් රැකගන්නා ලද උඩපන්දුව ජොන්ටි රෝඩ්ස් යුගයෙන් පසුව දැකගත හැකිවූ ඒ තාලයේ උඩපන්දුවකි. පිලිප්ස් විසින් එවන් මතකයේ රැඳෙන උඩපන්දුවක් රැකගත් නමුත් නවසීලන්ත පන්දු රකින්නෝ එංගලන්ත ඉනිමේදී උඩපන්දු 6 ක් බිම දැමූහ. ඒවායින් තුනක්ම බිම හෙළන ලද්දේ නායක ටොම් ලෙතම් විසිනි. 

හැරී බෲක් ප්‍රමුඛ එංගලන්තයේ මැද පෙළ පිතිකරුවන්ට වාසනාව උපරිමයෙන් තිබිණ. උඩපන්දු ගිළිහී යාමෙන් පමණක් නොව, බෲක් සහ ඔලී පෝප් දෙදෙනාගේ පිත්තේ වැදුණු පන්දු නවසීලන්ත පන්දු රකින්නන් අසළින් හතරේ සීමාව කරා ගියේ ඔවුනට සරදම් කරමිනි. 

“අපි හිටපු හැටියට දැන් ඉන්න තැන හොඳටම හොඳයි. කොල්ලො ටික ඉන්නේ බොහොම සතුටින්” යයි තරගයෙන් පසුව ඔලී පෝප් පැවසීය. 

කෙසේ වෙතත් මේ වන විට එංගලන්ත ඉනිමේ ඕවර 91 ක් අවසන් වී ඇති බැවින් හෙට (සෙනසුරාදා) උදේම දෙවැනි නව පන්දුව ලබාගැනීමට නවසීලන්ත නායකයා බලාපොරොත්තුවෙන් සිටී. 

හැරී බෲක්ගේ ඉනිම තුළදී උඩපන්දු 4 ක් ගිලිහී ගියේය. බෲක් ලකුණු 18 ක්, 41 ක්, 70 ක් සහ 106 ක් ලබා සිටියදී ඔහුගේ උඩපන්දු අතහරින ලදි. පන්දු 163 කින් ලකුණු 132 ක් ලබාගත් දකුණත් පිතිකරුවාගේ ඉනිම හතරේ පහර 10 කින් සහ හයේ පහර දෙකකින් සමන්විත විය. 

දිවා ආහාරය වන විට එංගලන්ත පිල කඩුලු 3 ක් දැවී ලකුණු 45 ක් ලබා සිටි අතර බෙන් ඩකට්ගේ දැවීයාමත් සමගින් ලකුණු පුවරුව කඩුලු  4 ට 71 ක් ලෙසින් සටහන් කළේය. ඒ සමගම ක්‍රයිස්ට්චර්ච් අහසට ඉහළින් තිබූ දැවැන්ත වළාකුළ ඉවත්ව ගිය අතර එංගලන්ත පිතිකරුවෝ තරගයේ පාලනය සියතට ගත්හ. 

සිය 150 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින එංගලන්තයේ හිටපු නායක ජෝ රූට් නවසීලන්ත කෝඩුකාරයා වන නේතන් ස්මිත් හමුවේ ලකුණු නොලබා දැවී ගියේය. හැරී බෲක්ගේ හත්වැනි ටෙස්ට් ශතකය මෙයයි. ඔලී පෝප් සහ ජෝ රූට් අතර සම්බන්ධතාව දිගහැරෙද්දී ලකුණු ලබාගැනීමේ වේගය ඕවරයකට 5.00 ක් ඉක්මවා තිබිණ. 


නවසීලන්තය - පළමු ඉනිම 348 යි
(ටොම් ලෙතම් 47, කේන් විලියම්සන් 93, රචින් රවීන්ද්‍ර 34, ඩැරිල් මිචෙල් 19, ටොම් බ්ලන්ඩ්ල් 17, ග්ලෙන් පිලිප්ස් නොදැවී 58, මැතිව් හෙන්රි 18, ටිම් සවුතී 15, ගස් ඇට්කින්සන් 61/2, බ්‍රයිඩන් කාර්සි 64/4ථ ෂොයිබ් බෂීර් 69/4)

එංගලන්තය - පළමු ඉනිම කඩුලු 5 ට 319 යි
(බෙන් ඩකට් 46, ජේකබ් බෙතිල් 10, හැරී බෲක් නොදැවී 132, ඔලී පෝප් 77, බෙන් ස්ටෝක්ස් නොදැවී 37, නේතන් ස්මිත් 86/2)


අදහස් (0)

හැරී බෲක් එංගලන්තය ගොඩගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.