Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැව්ලොක්ස්-නාවිකයෝ අපරාජිත වාර්තාව රැකගැනීමේ සටනක

හැව්ලොක්ස්-නාවිකයෝ අපරාජිත වාර්තාව රැකගැනීමේ සටනක

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ආරම්භයේ සිටම සියලු බාධක රැසක් ජයගෙන  පස්වැනි සතිය වනතුරුම සිය අපරාජිතභාවය රැකගනිමින්ද, ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැන එකිනෙකා අතර හුවමාරු කරගනිමින්ද කරට කර සටනක නිරතව සිටින හැව්ලොක්ස් ක්්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර හෙට (ඉරිදා) පස්වරුවේ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තීරණාත්මක තරගය මේ සතියේ වඩාත්ම අවධානයට ලක්වන තරගය බවට පත්ව තිබේ.

පස්වැනි සති අන්ත තරගවලින් පසුව ලකුණු 29 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත්ව සිටින අතර ඔවුන්ට නොදෙවැනි අන්දමේ දස්කම් දක්වමින් දෙවැනි තැනට නාවික හමුදා පිල පත්වී සිටින්නේ ප්‍රසාද ලකුණු 28 ක් අත්කර ගනිමිනි.

ප්‍රසාද ලකුණු සටහනේ ලකුණක පරතරයක් තිබුණද මේ දෙපිලම අපරාජිතය.

වැඩිම කාලයක් දේශීය රග්බි පිටියේ රිසි සේ සිය අණසක පතුරුවාලූ මහනුවර ක්‍රීඩා සමාජයට මෙවර තරගාවලියේ දෙවැනි පරාජයත් උරුම කරදෙමින් පසුගිය සතියේදී නාවික හමුදා පිල ලකුණු 37-32 ක ජයක් වාර්තා කළේය. පස්වැනි සති අන්තයේදි හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය යුද හමුදා පිලට එරෙහිව ලකුණු 37-26 ක ජයක් අත්කර ගත්තේය.

මෙම තත්ත්වය යටතේ ඉරිදා පස්වරුවේ විදුලි ආලෝකධාර මැද පැවැත්වෙන තරගය එක් අතකට අපරාජිතයන්ගේ සටනක් බවට පත්වී ඇති අතර අනික් අතට රග්බි ක්‍රීඩාවේ උණුසුම් මුහුණුවර කදිමට පෙන්නුම් කරන තරගයක් ද  වනු නිසැකය.

මේ අතර ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් ලකුණු 21 ක් සහ ලකුණු 18 ක් ලබා  තුන්වැනි තැන සහ සිවුවැනි තැන පසුවන මහනුවර කණ්ඩායම සහ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායම අතර තරගයද ඉරිදා පස්වරුවේ නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

මෙවර තරගාවලියේ සහභාගිවූ තරග 5 ම පරාජයට පත්ව ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් 7 වැනි සහ 8 වැනි තැන රැඳී සිටින පොලිස් ක්‍රීඩා සමාජය සහ සී.එච්.ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායම අතර 10 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන තරගය එක් පාර්ශ්වයක ජයග්‍රහණ පිපාසය සංසිඳුවාලනු ඇත.

ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් හතරේ ඉවසීම කිහිප වාරයක්ම පරීක්ෂාවකට ලක් කරමින් ජයග්‍රහණයේ එළිපත්තටම පැමිණ ආපසු හැරී ගිය යුද හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර එදිනම පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා පිටියේ පැවැත්වීමට නියමිත තරගය ද මේ සති අන්තයේ අවධානයක් දිනාගන්නා තරගයක් බවට පත්වනු නිසැකය. පසුගිය සතියේ දී සී.එච්. පිලට එරෙහිව ලකුණු 26-12ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදා පිල සමත්වූ අතර හැව්ලොක්ස් පිල හමුවේ පරාජයට මුහුණ දීමට යුද හමුදා පිලට සිදුවිය.

ස්ථානය කණ්ඩායම  තරග ජය සම පරාජ ත.ල. උ.දි. ප්‍ර. ද.ප. ඩ්‍රො.ගෝ. ලැ.ල. දු.ල. ප්‍ර.ල. සම්.ල.
1 හැව්ලොක්ස් ක්‍රී.ස  5 5 0 0 25 22 15 7 0 161 54 4 29
2 නාවික හමුදාව 5 5 0 0 25 23 17 5 1 167 80 3 28
3 මහනුවර ක්‍රී.ස 5 3 0 2 15 31 25 4 0 217 80 6 21
4 සී.ආර්. ඇන්ඩ් එෆ්.සී 5 3 0 2 15 16 11 10 0 132 101 3 18
5 ගුවන් හමුදාව  5 3 0 2 15 10 7 11 0 97 131 0 15
6 යුද හමුදාව  5 1 0 4 5 16 11 7 0 123 133 3 8
7 පොලීසිය 5 0 0 5 0 9 5 4 0 67 153 2 2
8 සී.එච්. ඇන්ඩ් එෆ්.සී 5 0 0 5 0 5 2 1 0 32 264 0 0
ත.ල. - තරග ලකුණු, උ.දි. - උත්සාහක දිනුම්, ප්‍ර. - ප්‍රවර්තන, ද.ප. - දඬුවම් පහර, ඩ්‍රො.ගෝ. - ඩ්‍රොප් ගෝල,
ලැ.ල. - ලැබූ ලකුණු, දු.ල. - දුන් ලකුණු, ප්‍ර.ල. - ප්‍රසාද ලකුණු, සම්.ල. - සම්පූර්ණ ලකුණු

අදහස් (0)

හැව්ලොක්ස්-නාවිකයෝ අපරාජිත වාර්තාව රැකගැනීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.