Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හෙට තරගයේ වැඩි වාසි චෙන්නායි පිලට

හෙට තරගයේ වැඩි වාසි චෙන්නායි පිලට

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගය හෙට (21 වැනිදා) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩාය සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම අතර මුම්බායිහි වන්කඬේ ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතය.

මෙම කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයේදී තරග වැදීම සඳහා අවස්ථාව හිමිකරගත්තේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වෙමිනි.

මෙවර තරගාවලියේදී තරග 14 කට බැගින් ක්‍රීඩා කළ මෙම කණ්ඩායම් දෙක තරග 9 බැගින් ජයගෙන 5 බැගින් පරාජයට පත් විය. ඒ අනුව කණ්ඩායම් දෙකටම ලකුණු 18 බැගින් හිමිවූ අතර දළ ලකුණු වේගයට අනුව චෙන්නායි කණ්ඩායමට (0.253) වඩා 0.3 කින් ඉදිරියෙන් සිටීම නිසා සන්රයිසස් කණ්ඩායම (0.284) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත් විය.

මෙවර තරගාවලියේදී මෙම කණ්ඩායම් දෙක එකිනෙකාට එරෙහිව තරග වැදුණු අවස්ථා දෙකේදීම සන්රයිසස් කණ්ඩායම පරාජය කිරීමට චෙන්නායි කණ්ඩායම සමත් විය. හයිද්‍රාබාද්හිදී පැවැති තරගයේදී සන්රයිසස් කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් ලැබූ චෙන්නායි කණ්ඩායම, පූනේහිදී පැවැති තරගයේදී සන්රයිසස් කණ්ඩායම පරාජය කළේ කඩුලු 8 කිනි.

ඒ අනුව හෙට පැවැත්වීම නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයේදීද සන්රයිසස් කණ්ඩායමට එරෙහිව චෙන්නායි කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් තරග බිමට පිවිසෙනු ඇත. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුවද, මූලික වටයේදී අවසන් වරට සහභාගි වූ තරග තුනේදීම පරාජයට පත් වී තිබීම හෙට දිනයේදී සන්රයිසස් කණ්ඩායමේ මානසික ඒකාග්‍රතාව බිඳවැටීමට හේතුවනු ඇත.

සන්රයිසස් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් තරග 14 කදී අර්ධ ශතක 8 ක් සමග ලකුණු 661 ක් රැස්කරමින් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවේ. එම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගැනීම සඳහා ඔහුට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 23 ක් පමණි.

හෙට පැවැත්වෙන තරගයේදී ජය ලබන කණ්ඩායම ඍජුවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්නා අතර පරාජයට පත්වන කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් අවස්ථාවක් හිමිවනු ඇත. ඒ සඳහා ඔවුන් අනිද්දා (22) පැවැත්වෙන පරාජිතයන් ඉවත් කිරීමේ තරගයේදී ජය ලබන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගය ජයග්‍රහණය කළ යුතු වේ.


- 036

 


අදහස් (0)

හෙට තරගයේ වැඩි වාසි චෙන්නායි පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.