Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ

හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ

editorial - 2023 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා ඇමැතිවරයා පත් කළ ක්‍රිකට් සම්බන්ධීකරණ කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය අවශ්‍ය බවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව  (අයි.සී.සී.) දැක්වූ ප්‍රතිචාරය ‘‘හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්’’ වන බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජික රටවල්  12 කට යොමු කළ ලිපියක දැක්වේ. 

ඇමැතිවරයා එම රටවලට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ වත්මන් තත්වය පිළිබඳව පැහැදිලි කරමින් පෙරේදා  (04) යැවූ ලිපියක ඒ පිළිබඳව කරුණු ගණනාවක් දක්වා තිබේ. 

ශ්‍රී ලංකාවේ ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරන ජාතික විගණන ආයතනය විසින් නිකුත් කළ විශේෂ විගණන වාර්තාව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා පියවර ගැනීමට සූදානම්වන අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එය දේශපාලන අතපෙවීමක් ලෙස වැරදි ආකාරයට හුවා දැක්වීමක් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව නොමග යැවීමට කටයුතු කර ඇති බවත් ටෙස්ට් ක්‍රිකට් සාමාජික රටවලට යැවූ එම ලිපියේ දක්වා ඇත. 

එහිදී ක්‍රීඩා ඇමැතිවරයා ඍජුවම අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමග ගනුදෙනු කිරීමට දරන උත්සාහය වළක්වාලීමට කටයුතු කර ඇත. 

පෙරේදා යොමු කළ එම ලිපියේ මෙසේද දක්වා තිබේ. 

‘‘1975 සිට අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමග බැඳුණු ක්‍රිකට් ක්‍රීඩාවක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාව 1981 දී එහි පූර්ණ සාමාජිකත්වය ලබා තිබේ. 1996 දී අර්ජුන රණතුංග ගේ නායකත්වයෙන් ලෝක කුසලාන දිනාගැනීම හැරෙන්නට 2007 හා 2011 දී ශ්‍රී ලංකාව ලෝක කුසලාන අනුශූරතාව දෙවතාවක් හිමිකර ගැනීමට සමත්ව තිබේ. 2003 දී ලෝක කුසලාන අවසන් පූර්ව වටය දක්වා පැමිණීමටත් ශ්‍රී ලංකාව සමත්ව තිබේ. 

මෙම සියලු කාරණා හමුවේ ගොඩනැගුණු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වසර 2015 සිට සියලු ආකාරයේ කඩා වැටීමකට ලක්ව තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මෑත කාලයේදී පැන නැගී තිබෙන දූෂිත තත්වයත් රජයේ විගණන වාර්තාවලින් කීප අවස්ථාවකදීම හෙළිකර ඇත. එය කෙතෙක්ද යත් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට ඔට්ටු අල්ලන නීතියට පටහැණි සමාගම් අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්වූ අවස්ථාවන් ගැන ද සඳහන් වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අසාදු ලේඛනගත කළ සමාගම් ගැන ද එහිදී කරුණු හෙළිකිරීම කර තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන ආදායම දෙස බැලීමේ දී ඔවුන්ට අඩු තරමින් රටේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව හා ක්‍රිකට් ක්‍රීඩාංගණ නඩත්තු කර පවත්වාගෙන යාමේ නිසි හැකියාවක් ගොඩනැගිය යුතුව තිබුණි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය හා බැඳුණු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමේ උවමනාව ඔවුන්ට නොතිබුණි. 

මෙම සියලු කාරණා හමුවේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ආගාධයටම යන අතර ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත්වීම් කිරීමට දරන සෑම උත්සාහයක්ම ‘‘දේශපාලන අතපෙවීම්’’ ලෙස වැරදි අර්ථකථන ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිරතුරුවම උත්සාහ ගෙන ඇත. 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ශ්‍රී ලංකා රජය මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් හා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් රජයේ බදුවලින් නිදහස් කිරීමටත් පියවර ගෙන තිබේ. 

කෙසේ වුවත් ‘‘දේශපාලන අතපෙවීම්’’ යයි කියමින් නිරතුරුවම ක්‍රීඩා ඇමැතිවරයාට හා ක්‍රීඩා අමාත්‍යංශයට චෝදනා කරමින් හැසිරෙන රටේ ක්‍රිකට් පරිපාලනය මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාව අගාධයට ඇද දමා තිබේ. නමුත් රටේ ක්‍රීඩා පනතට හා රටේ පවතින නීතියට අනුව පමණක් මෙරට ක්‍රිකට් පරිපාලනයට ඇතැම් මැදිහත්වීම් කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා උත්සාහ දරා ඇත.

ඒ අනුව මෙම ලිපිය පූර්ණ ටෙස්ට් තත්වය ලබා තිබෙන ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නවසීලන්තය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් හා සිම්බාබ්වේ යන රටවල ජාතික ක්‍රිකට් ආයතනයන්හි ප්‍රධානීන් වෙත යැවීමට ක්‍රීඩා ඇමැතිවරයා පියවරගෙන තිබේ. 

ඉන්දියාවේ දී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී මෙතෙක් ශ්‍රී ලංකාව අත්කරගත් පරාජයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අතර ඇතිවී තිබෙන ‘‘විරසකය’’ තවත් උත්සන්න වී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවට ලකුණු 302කින් පරාජයවීමත් සමග නිවේදනයක් නිකුත් කළ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට පරාජයේ වගකීම් බාරගෙන ඉල්ලා අස්වන ලෙස පවසා තිබේ. එය නිකුත්වීමෙන් පසුව සෙනසුරාදා (4) සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශයට පත් කළේය. 

කෙසේ වුවත් උද්ගත වෙමින් තිබෙන තත්වය පිළිබඳව ඇතැම් ක්‍රිකට් විචාරකයන් පවසන්නේ එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් බරපතළ තත්වයක් නිර්මාණය විය හැකි බවයි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැතිවරයාගේ බලපෑම් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් විධායක සභාවේ නිලධාරීන් ඉල්ලා අස්වීමට කටයුතු කළහොත් එය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දැඩි නිරීක්‍ෂණයට ලක්වනු ඇතැයිද වාර්තා වේ. 

එවැනි විටක එය තෙවැනි පාර්ශවයක නැතහොත් දේශපාලන මැදිහත්වීමක් ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාවට එ්ත්තු ගියහොත් එය ශ්‍රී ලංකාවේ අයි.සී.සී. සාමාජිකත්වය අත්හිටුවීමට පවා හේතුවිය හැකි බව ඔවුන්ගේ අදහසයි. 
පෙරේදා ක්‍රීඩා ඇමැතිවරයා ‘‘ටෙස්ට්’’ රටවලට යොමුකළ ලිපියට පාදක වූ ඇමැතිවරයා ක්‍රීඩා පනතෙන් රටේ ක්‍රිකට් සම්බන්ධීකරණයට පත්කළ කමිටුවට තිදෙනෙක් ඇතුළත් වූහ.

පසුගිය ඔක්තෝබර් 1 වැනිදා සිට නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකව පවතින මෙම කමිටුවේ සභාපතිවරයා වන්නේ සිදත් වෙත්තමුණි මහතාය. රචිත නිර්මල රාජපක්‍ෂ (ලේකම්) හා උපාලි ධර්මදාස යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති. 

ලෝක කුසලාන තරග පරාජයත් සමග ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයට ලබාදෙන මාසික දීමනා හා ගෙවීම් ගැනත් මේ වනවිට කතිකාවතක් ඇතිවී තිබේ. වාර්තාවන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවදෙනකු වන පුහුණු කාර්යමණ්ඩලය සඳහා මාසිකව ඇමරිකානු ඩොලර් 110000 ක් හෙවත් රුපියල් තුන්කෝටි අසූනව ලක්‍ෂයකට ආසන්න මුදලක් ගෙවන බව ද වාර්තා වේ.


අදහස් (1)

හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ
  • Cricket Lover Tuesday, 07 November 2023 12:54 PM

    රනිල් රාජපක්ෂලා අල්ලසට, දූෂණයට, අවිධිමත් කලමනාකරණයට වැඩකරනවා කියලා පුදුම වෙන්න දෙයක් නැහැ. ඔහුගේ රජය වගේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වන්නේ...! 

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.