Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හිතමින් හිටියේ සමුගැනීම ගැනයි - ක්ලාක්

හිතමින් හිටියේ සමුගැනීම ගැනයි - ක්ලාක්

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

වසර 8 කට එපිට ලෝක කුසලාන දිනාගත්  ඕස්ටේ‍්‍රලියානු පිලේ සාමාජිකයකුව සිටි මයිකල් ක්ලාක්, නායකත්වයට පත්වීමෙන් පසුව එක්දින තරග 73 කදී  ඕස්ටේ‍්‍රලියානු පිල මෙහෙයවමින් 2015 ලෝක කුසලාන තරගාවලියේ අවසන්  මහ තරගය දක්වාත් සිය කණ්ඩායම කැඳවාගෙන ආවේය. මේ වන විට එක්දින තරග 49 කදී ඕස්ටේ‍්‍රලියානු පිල ජයග‍්‍රහණය කරා මෙහෙයවා ඇති මයිකල් ක්ලාක්ට සිය 50 වැනි එක්දින ජයග‍්‍රහණයත් ලබාගත හැකිවුවහොත් එය ලෝක කුසලානයද වෙයි.

ඒ කෙසේ වුවත් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එක්දින අන්තර්ජාතික තරග බිමෙන් සමුගැනීමට මයිකල් ක්ලාක් තීරණය කර තිබේ. හෙට (29 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහ තරගය මයිකල්ගේ අවසන් එක්දින තරගයයි.

සිය තීරණය ප‍්‍රකාශයට පත්කරමින් අද (28 වැනිදා) මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී මයිකල් ක්ලාක්ගෙන් අසන ලද ප‍්‍රශ්න සමූහයට ඔහු දුන් පිළිතුරු මෙසේ සටහන් වෙයි.


ප‍්‍රශ්නය :
ඔබ මේ තීරණය අරන් ඒක කණ්ඩායමේ කී‍්‍රඩකයන්ට දැන්නුවාම ඔවුන්ගේ ප‍්‍රතිචාරය වුණේ මොකක්ද?. ඔබ මේ වෙන කොටත් සෑහෙන්න හැඟීම්බර වෙලා සිටින බවක් පෙනෙන්නට තිබෙනවා.

මයිකල් ක්ලාක් :
නෑ..මම හොඳින් ඉන්නේ. මා ඉතාමත් ෂතුටින් ඉන්නේ.
මම ආරම්භයේ ඉඳලාම කියපු දෙයක් තමයි මේ කී‍්‍රඩාවට මා යමක් දිය යුතුවෙනවා මිස කී‍්‍රඩාවෙන් මට යමක් දිය යුතු නෑ කියන එක. මා මගේ ජීවිතයේ දැන් ඇවිත් තියෙන තැන දිහා බලන කොට මා ඉතාමත් වාසනාවන්තයි කියා හැෙගනවා. මා අද මෙතැන ඉන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාව නිසා. එක්දින අන්තර්ජාතික තරග කියන්නේ ඒකේ ඉතාමත් විශාල කොටසක්.

මා දන්නවා මා නිවැරදි තීරණය ගත්තා කියා. මගේ කණ්ඩායම් සගයින්ටත් මා මේ කතාව කිව්වේ විනාඩි 10 කට විතර කලින්. ඒත් තේරීම් කමිටු නිලධාරීන්ට සහ ජේම්ස් සදර්ලන්ඞ් මහතාට නම් මීට පැයකට විතර කලින් මා ඒ බව කිව්වා. ඒ හැරෙන්න පසුගිය පැය 24 දී මා ඒ ගැන කතාකළා නම් ඒ මගේ පවුලේ අය සමගයි. ඒත් ඇත්තම තත්ත්වය නම් පසුගිය සති කිහිපයේදීම මා ඒ ගැන හිතමින් හිටියා කියන එකයි.

මට ප‍්‍රශ්නයක් තිබුණා නම් ඒ මීළඟ ලෝක කුසලාන තරගාවලියේදී මා  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියෝජනය කරනවාද නැද්ද කියන එකයි. ඒත් ඒ ප‍්‍රශ්නයට මගේ මනසින් උත්තර දුන්න වෙලාවේදීම මේ තීරණය ගන්න පුළුවන් වුණා.  

ඇත්තටම වසර 4 කට ඉහතදී මට නායකත්වය ලැබුණු එක මේ කණ්ඩායම ගොඩනගන්න මට විශාල අවස්ථාවක් වුණා. මගේ කණ්ඩායම වගේම නායකයෙක් හැටියට මගේ විලාසයට කණ්ඩායම මෙහෙයවන්නත් මට පහසුවක් වුණා. මා හිතන්නේ මේ තරගාවලියේදී කණ්ඩායමේ නායකත්වය දරන්න මට ඒක ලොකු පහසුවක් වුණා. ඒ නිසා ඊළඟ නායකයාටත් ඒ අවස්ථාව ලැබෙනවා නම් මා කැමතියි.


ප‍්‍රශ්නය :
මේ වගේ තීරණයක් ගත්තේ ඇයි කියලා ඇහුවාම ඔබ කියාවි මට වැදගත් වෙන්නේ මම නොවෙයි ඕස්ටේ‍්‍රලියාවයි කියලා. ඒත් හෙට ලෝක කුසලාන අවසන් මහ තරගය පැවැත්වෙන දවසයි. ඔබ තීරණය ගත්තේ ඒ ගැනත් හිතලාද ?

මයිකල් ක්ලාක් :
මා එහෙම හිතන්නේ නෑ. මේක විශේෂ තරගයක් නම් තමයි. ඒත් මේ වෙලාවේදී හිතන්න  ඕනා කණ්ඩායම ගැනයි. මම හිතන්නේත් ඒ ගැනයි. මා කණ්ඩායමේ සගයින්ට කිව්වෙත් ඒ ටිකමයි. තරගයක් හෝ ප‍්‍රධාන පෙළේ තරගාවලියක් ජයගන්නේ හැඟීම් වලින් නෙමේ දස්කම් වලින් කියලා ඔවුන්ට කිව්වෙත් මමම තමයි. ඉතින් හෙටත්  ඕකේ වෙනසක් නෑ.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා එම්. සී. ජී. කී‍්‍රඩාංගණයට පිවිසෙන්නට ලැබීම කී‍්‍රඩක කාමරයේ ඉන්න හැම දෙනාටම අති විශේෂ අවස්ථාවක් වේවි. ඒත් ඇත්තටම ඒක මගේ අවසන් එක්දින තරගයත් වෙන නිසා ඒක මටත් විශේෂ අවස්ථාවක් තමයි.


ප‍්‍රශ්නය :
ඔබ නායකයා වශයෙන් කණ්ඩායමේ ඉන්න ඉතාමත් දක්‍ෂ පිතිකරුවකු අංක 6 ස්ථානයෙන් පිටියට යවමින් ඔහුට අසාධාරණයක් කරන්නේ ඇයි ?

මයිකල් ක්ලාක් :
අපි කවුරු ගැනද මේ කතා කරන්නේ...ආ..එයා (මයිකල් ක්ලාක්) ගැනනේ...(සිනහවෙමින්..)

මා හිතන්නේ ඒක කණ්ඩායම වෙනුවෙන් ගත්ත හොඳ තීරණයක් කියලයි. මගේ තරග දිවිය පුරාම, මා පිතිකරුවකු වශයෙන් කී‍්‍රඩා කළ අවස්ථා බොහෝ ගණනකට වඩා මා අංක 3 පිතිකරුවා ලෙසින් කී‍්‍රඩා කළ යුතුව තිබුණා කියලයි මම හිතන්නේ.

එත් මට මතකයි මා ඉතා තරුණ වයසේදීම රිකී (පොන්ටිං) මට කිවුවා මා වඩාත් යෝග්‍ය වෙන්නේ මැද පෙළට කියා. විශේෂයෙන්ම එක්දින තරග වලදී. ඔහු මට කිවුවේ මැද පෙළට ගිහිල්ලා දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙමින්, ඔවුන්ගේ  ඕවර නිමා වන තුරු පිටියේ රැඳී ඉන්නා ලෙයසි. එහෙම කළොත් අවසන් ඕවර කිහිපයේදී අපේ පිතිකරුවන්ට වේගයෙන් ලකුණු ලබාගන්නට හැකි බවත් ඔහු මට කිව්වා. මා හිතන්නේ මා දිගින් දිගටම ඒ දේ කළා.

අනෙක එදා, පර්ත් නුවරදී (ඇෆ්ඝනිස්ථානයට එරෙහිව) පැවැති තරගයේදී, 30 වැනි  ඕවරය වන විටත් දැවී ගිහින් තිබුණේ කඩුල්ලක් පමණයි. (දෙවැනි කඩුල්ල 38 වැනි  ඕවරයේදී). ඉතින් මා හිතුවා මට ඉස්සරවෙලා වේගයෙන් ලකුණු ලබාගත හැකි පිතිකරුවන් පිටියට යවන එක හොඳයි කියලා. (ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදීත් දෙවැනි කඩුල්ල බිඳ වැටුනේ 35 වැනි ඕවරයේදී වන අතර අනතුරුව ග්ලෙන් මැක්ස්වෙල් පිටියට පිවිසියේය) ඉතින් මේක තනි පුද්ගල සාර්ථකත්වයක් සොයා යාමක් නෙමේ. කණ්ඩායමක ජයග‍්‍රහණය වෙනුවෙන් ඉලක්කයක් ඇතිව යන ගමනක්.

වාසනාවට වගේ මා ඒ තීරණය ගත්ත අවස්ථා දෙකේදීම අපි තරගය ජයග‍්‍රහණය කළා. හෙටත් එකේ වෙනසක් නෑ. මට හිතෙනවා නම් මා අංක 4 පිතිකරුවා ලෙසින් පිටියට යා යුතුයි කියලා, මම ගිහින් පන්දුවට පහර දෙනවා. ඒත් මා පන්දුවට පහර දෙන්න  ඕන නෑ කියලා හිතුණොත් මම පන්දුවට පහර දෙන්න යන්නේ නෑ.


ප‍්‍රශ්නය :
ඔබේ තරග දිවිය ආරම්භයේදීම ලෝකයේ අප දුටු ඉතාමත් විශිෂ්ට කණ්ඩායම්වල සාමාජිකයෙක් වෙලා ඔබ හිටියා. 2007 ඔබලා ලෝක කුසලාන දිනාගන්න කොට ඔබත්, ෂේන් වොට්සන් සහ මිචෙල් ජොන්සන් දෙදෙනාත් කණ්ඩායමේ සිටියා.

ඒත් මේ (2015) කණ්ඩායම හුඟාක් තරුණයි. ඒ නිසා මේ කණ්ඩායමේ කී‍්‍රඩකයන් බොහෝ දෙනකුට මේ පළමු වැනි ලෝක කුසලාන අවසන් මහ තරගයයි. ඔබගේ අත්දැකීම් අනුව මේ වගේ අති විශාල අවස්ථාවකට මුහුණ දීම සඳහා ඔවුන්ට දෙන පණිවුඩය කුමක්ද ?

මයිකල් ක්ලාක් :
ඔවුන්ට පීඩනය හසුරුවාගන්න පුළුවන් කියලා කණ්ඩායම පෙන්නුම් කරලා තියෙනවා. ඇරත් මේ තරගාවලියේ පළමු පන්දුවට මුහුණ දුන්න වෙලාවේ ඉඳලාම ඒ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා කියලා අප දැනගෙන හිටියා. අනෙක මේ අපේ රට. අපි කී‍්‍රඩා කරන්නේ අපේ රටේදී. මේක (ලෝක කුසලාන අවසන් මහ තරගය) නිදහසේ කරන කී‍්‍රඩාවක්.

තවත් අතකින් බලන විට මා ඉතා කුඩා අවදියේම ඉගෙන ගත් පාඩමක් තමයි හොඳින් පුහුණුවීම. ඒ නිසා තමයි මම නිතරම පුහුණුවීම් අතපසු නොකරන්නේ. යමක් වෙනුවෙන් මහන්සිවෙන්නේ. එහෙම කළාම, වැදගත් අවස්ථාවකදී වුණත්, මොන පීඩනය යටතේ වුණත්, නිදහසේ කී‍්‍රඩා කරන්න පුළුවන්.

මට මීටත් වඩා සතුටු වෙන්න කියලා දෙයක් නෑ. අද (28 වැනිදා) පුහුණුවීම් කරන්නේ කී‍්‍රඩකයන් කැමති නම් විතරයි. ඔවුන් නිදහසේ ඉන්නේ. ඒත් කණ්ඩායමේ හැම කෙනෙක්ම මෙතන. (මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ). ඒකෙන්ම පෙනෙනවා ඔවුන්ගේ කැපවීම කොයි තරම්ද කියලා. ඔවුන් හිතමින් ඉන්නේ මොකක් ගැනද කියල.

අවසන් පූර්ව තරගයෙන් පස්සේ අපි මේ තරගයට මානසිකව සූදානම් වුණා. ඒත් ශාරීරිකව සූදානම් වෙන්න තවත් දවසක් තියෙනවා. මා හිතන්නේ හැම දේම නිවැරදි ආකාරයට කෙරෙනවා. කණ්ඩායම සූදානම්.


ප‍්‍රශ්නය :
සති කිහිපයකට ඉස්සරවෙලා ඔබ කිවුවා මේ ඔබේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වෙයිද නැද්ද කියලා හරියටම කියන්න බැරි බව. ඒත් මේ තීරණය අරන් දැන් කොච්චර කාලයක් වෙනවාද ?

මයිකල් ක්ලාක් :
පැය 48 ක් විතර..මා ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ලෝක කුසලාන තරගාවලිය පුරාම මම ඒ ගැන හිතමින් හිටියා. මගේ මනසින් මම ප‍්‍රශ්න කරමින් හිටියේ මට ඊළඟ ලෝක කුසලාන තරගාවලිය කී‍්‍රඩා කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැනයි. ඒත් පැය 48 කට විතර ඉස්සරවෙලා මා තීරණය ගත්තා. ඊට පස්සේ මා මගේ පවුලේ අයත් එක්ක කතා කරලා ඒ ගැන තවදුරටත් හිතුවා. ඒක කණ්ඩායමටත් හොඳයි. ඒත් මට තවත් අවුරුදු දෙකක් විතර කි‍්‍රකට් කී‍්‍රඩාවේ යෙදෙන් පුළුවන් කියන එක ගැන නම් මට සැකයක් නෑ. මම ලබාගත්ත අවස්ථාව කණ්ඩායම වගේම ඊළඟ නායකයාත් ලබාගන්න  ඕනෑ. එතකොට තමයි ඔවුන්ට පුළුවන් වෙන්නේ මේ වගේ තරගාවලියක් වෙනුවෙන් හොඳින් සූදානම් වෙන්න.


ප‍්‍රශ්නය :
මේ තීරණය ගන්නා අවස්ථාවේ ඔබ මොනවා කරමින්ද හිටියේ..

මයිකල් ක්ලාක්.
මා තීරණය ගත්තේ සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයෙන් (ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයට පසුව) පිටවෙන විටදීමයි. මම ගෙදර යන විට 12.30 විතර වුණා. කයිලි (මයිකල්ගේ බිරිඳ) ඒ වෙලාවේ නිදියන් හිටියේ. ඒත් මා එයාට කතා කරලා ඒ ගැන කිව්වා.   


ප‍්‍රශ්නය
ඔබ ලෝක කුසලාන අවසන් තරගයෙන් පස්සේ එක්දින තරග බිමෙන් සමුගන්නවා. ඒත් මේ කණ්ඩායමේ ඉන්නවා ඔබේ වයසේම කී‍්‍රඩකයන්. මිචෙල් ජොන්සන්, ෂේන් වොට්සන් වගේ අය. ඔබ හිතනවාද හෙට නැත්නම් ලබන අවුරුද්දේදීවත් ඔවුන් තමන් ගැන තීරණයක් ගනීවි කියලා.

මයිකල් ක්ලාක්
ඔවුන් කොයි තරම් කාලයක් කී‍්‍රඩා කරාවිද කියා මා නම් දන්නේ නෑ. කණ්ඩායම් කී‍්‍රඩාවක් වුණත් මේ කී‍්‍රඩාවේ තියෙන විශිෂ්ටතම ගුණාංග වලින් තවත් එකක් තමයි එක එක්කෙනාට තමන්ගේ තත්ත්වය ගැන හිතලා තීරණයක් ගන්න අවස්ථාව ලැබෙන එක. ඒ කොහොම වුණත් කී‍්‍රඩකයන්ගේ කාමරයේ ඉන්න හැම දෙනා තුළම තවත් කි‍්‍රකට් කී‍්‍රඩාව ඉතුරු වෙලා තියෙනවා. ඒක නම් විශ්වාසයි.
 
ඔවුන් හැම කෙනා තුළම කී‍්‍රඩා කරන්න ආශාවක් තියෙනවා නම්, ඔවුන්ගේ කී‍්‍රඩාව නිවැරදි ආකාරයට කෙනෙවා නම්, ඔවුන් කී‍්‍රඩාව නතර කළ යුතු යයි කියලා මා නම් හිතන්නේ නෑ. කොහොම වුණත් මා ඔවුන්ගේ පෞද්ගලික තීරණ සම්බන්ධයෙන් නම් තවමත් ඔවුන් සමග කතා කරලා නෑ. මගේ මූලික අරමුණ වුණේ මේ තරගාවලිය සඳහා හැම කෙනෙක්ම මානසිකව සහ ශාරීරිකව සූදානම් කිරීමයි. ඔවුන් ඉතාමත් හොඳින් කී‍්‍රඩා කරමින් ඉන්නවා. ඉතින් ඔවුන් දිගටම කී‍්‍රඩා කරන්න හිතන් ඉන්නවා නම් දිගටම කී‍්‍රඩා කරපුවාවේ.


ප‍්‍රශ්නය :
ලෝක කුසලානයත් එක්ක ඡායාරූපය ගන්න ගිය වෙලාවේ ඔබ බ්‍රෙන්ඩන් මැකලම් එක්ක ටිකක් වෙලා කතාකර කර හිටියා. ඒ කතාවෙච්ච දේවල් අපිත් එක්කත් බෙදා ගන්න පුළුවන්ද ?

මයිකල් ක්ලාක් :
මා හිතන්නේ ඒක මාත් බ්‍රෙන්ඩනුත් අතර විතරක් තිබුණා නම් හොඳයි කියලයි. ඒත් අපි දෙන්නා එකිනෙකාට සුබපැතුවා. බ්‍රෙන්ඩනුයි මායි අතර ඉතාමත් හොඳ හිතවත්කමක් තිනෙවා. විශේෂයෙන්ම පිල් හියුස්ගේ අවාසනාවන්ත අභාවය වෙලාවේ පිලිප්ගේ පවුලේ අය වෙනුවෙන් ඔහුත් ඔහුගේ කණ්ඩායමේ අයත් ගෞරව කළ අකාරය ගැන මා ඔහුට ඉතාමත් කෘතවේදී වෙනවා. මා හිතන්නේ ඒ නිසාම අපි දෙදෙනා වඩාත් හිතවත් වෙන්න ඇති.


ප‍්‍රශ්නය :
කි‍්‍රකට් කී‍්‍රඩාව දැන් කෙරීගෙන යන අකාරය අපි හැමෝටම පෙනෙනවා. ඒත් එක්දින තරග වෙනුවෙන් වැඩි අවධානය යොමුකරන්න, ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් ඉවත් වෙන්න ඔබට කිසියම් අවස්ථාවක හිතුණේ නැද්ද?

මයිකල් ක්ලාක්
අපෝ නෑ. කි‍්‍රකට් කී‍්‍රඩාවේ උසස්ම මට්ටම ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව කියන සත්‍යය මා හැමදාමත් පිළිගන්නවා.


අදහස් (0)

හිතමින් හිටියේ සමුගැනීම ගැනයි - ක්ලාක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.