Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘දකුණු මෝසම්’ රැළිය නොවැම්බර් 2 - 3

‘දකුණු මෝසම්’ රැළිය නොවැම්බර් 2 - 3

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු පළාත් මෝටර් රථ සංගමය, ලක්ෂ්මන් යාපා අබේවර්ධන පදනම සමග එක්ව සංවිධානය කරන ලක්ෂ්මන් යාපා කුසලාන ‘දකුණු මෝසම්’ මෝටර් රථ රැළිය නොවැම්බර් මස 2 සහ 3 යන දින වලදී දකුණු පළාතේ දිස්ති‍්‍රක්ක 3 ක් හරහා පැවැත්වේ.

දකුණු පළාතේ බොහෝ වනගත ප‍්‍රදේශ ආවරණය වන පරිදි කිලෝ මීටර් 600 කට ආසන්න දුරකින් යුක්ත මෙම මෝටර් රථ රැළිය නොවැම්බර් මස 2 වැනිදා රාතී‍්‍ර 7.00 ට මාතර නගරයෙන් ආරම්භවේ.

අදියර 3 කින් සහ අති විශේෂ අදියර 3 කින් සමන්විත මෙම තරගාවලියේ පළමු අදියර මාතර සිට අකුරැස්ස කරා වන අතර එහිදී කී‍්‍රඩකයන්ට වැලිගම, කනංකේ, පිටබැද්ද, දෙරණගල, නෙළුව, මොරවක, රොටුඹ සහ ඌරුබොක්ක යන ප‍්‍රදේශ හරහා කිලෝ මීටර් 180 ක් දුරක් ගමන් කිරීමට සිදුවේ.

අකුරැස්සට පැමිණීමෙන් අනතුරුව කී‍්‍රඩකයන්ට පැය 2 ක විවේකයක් ලැබෙන අතර ඉන් පසුව ඔවුන්ට තරගයේ දෙවැනි අදියර අරඹමින් අකුරැස්සේ සිට හම්බන්තොට කරා කිලෝ මීටර 220 ක දුරක් ගමන් කිරීමට සිදුවේ. එහිදී ඔවුන් මාකඳුර, මූලටියන, මාරවිල, වලස්මුල්ල, පනාමුරේ, සෙවනගල සහ මීගහජඳුර යන ප‍්‍රදේශ පසුකරමින් සූරියවැව හරහා හම්බන්තොට පැමිණි යුතුය.

හම්බන්තොටදී හිමිවන පැය 4 ක විවේක කාලයෙන් අනතුරුව තරගයේ පළමු අති විශේෂ අදියර කි‍්‍රයාත්මක වන අතර එහිදී කී‍්‍රඩකයන්ට එතෙක් ගමන් කළ දුෂ්කර වනගත මාර්ගය වෙනුවට තාර යෙදූ ධාවන පථයක එකදිගට කිලෝ මීටර 2 ක දුරක් ගමන් කිරීමට සිදුවේ.

එම කිලෝ මීටර 2 ක දුර ප‍්‍රමාණය අවසන් වනවාත් සමගම නැවතත් තරගයේ තෙවැනි අදියරේ පළමු කොටසට කී‍්‍රඩකයන් පිවිසෙන අතර එම අදියර තුළදී ඔවුන්ට හම්බන්තොට සිට උඩවලව දක්වා කිලෝ මීටර් 60 දුරක් ගමන් කිරීමට සිදුවේ. හම්බන්තොට සිට උඩවලව දක්වා ගමන් කිරීමේදී කී‍්‍රඩකයන්ට සූරියවැව, මීගහජඳුර, කිරිඉබ්බන්නාර සහ සෙවනගල යන ප‍්‍රදේශ පසුකිරීමට සිදුවේ.

උඩවලවට පැමිණීමෙන් අනතුරුව තරගයේ දෙවැනි අති විශේෂ අදියර ආරම්භ වන අතර එහිදී මෝටර් රථ රියදුරන්ට උඩවලව හරහා බොරළු සහිත මාර්ගයක කිලෝ මීටර 1.5 ක දුරක් ගමන් කිරීමට සිදුවේ.

උඩවලව නගරය කෙළවරින් තරගයේ තෙවැනි අදියරේ දෙවැනි කොටසට පිවිසෙන කී‍්‍රඩකයන් එතැන් සිට හක්මන දක්වා කිලෝ මීටර 100 ක දුරක් ගමන් කිරීමට නියමිතය. එහිදී පදලංගල, ඇඹිලිපියටිය, තුංකම, දෙබොක්කාව, වීරකැටිය පසුකරමින් ගමන් කිරීමට ඔවුන්ට සිදුවේ.
තරගයේ තෙවැනි අති විශේෂ අදියර හක්මනින් ආරම්භ වන අතර බොරළු සහිත මාර්ගයක පමණක් ගමන් කිරීමට සිදුවන එහි දුර ප‍්‍රමාණය මීටර් 800 කි.

ඉන් අනතුරුව හක්මන සිට කඹුරුපිටිය දක්වා කිලෝ මීටර් 9 දුරක් පැමීණීමෙන් තරගය අවසන් වන අතර තරගයේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය කඹුරුපිටියේ උපාලි විජේවර්ධන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

තරගයේ සමස්ත ජයග‍්‍රාහකයාට අමතරව ප‍්‍රවීන කාණ්ඩයේ ජයග‍්‍රාහකයා සහ ආධුනික කාණ්ඩයේ ජයග‍්‍රාහකයා සඳහාද ත්‍යාග පිරිනැමෙන අතර පළමු, දෙවැනි සහ තෙවැනි මාර්ග අදියර වල මෙන්ම පළමු, දෙවැනි සහ තෙවැනි සුපිරි විශේෂ අදියර වල ජයග‍්‍රාහකයන්ටද ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටී.

071 4045132 යන දුරකථන අංකය ඔස්සේ ඇන්ඩෘ සිල්වා, 0777 225555 යන දුරකථන අංකය ඔස්සේ අශාර් හමීම් හෝ 071 8527327 යන දුරකථන අංකය ඔස්සේ මහාචාර්ය ඔස්කාර් අමරසිංහ යන මහත්වරුන් සම්බන්ධ කරගැනීමෙන් දකුණු මෝසම් රැළිය පිළිබඳ වැඩි විස්තර දැනගත හැක.


අදහස් (0)

‘දකුණු මෝසම්’ රැළිය නොවැම්බර් 2 - 3

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.