Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘දිගාමඩුල්ලේ ආශ්චර්ය’ මෝටර් රථ රැළිය 6-7

‘දිගාමඩුල්ලේ ආශ්චර්ය’ මෝටර් රථ රැළිය 6-7

සංජය එරමුදුගොඩ - 2016 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය සංවිධානය කරන ‘දිගාමඩුල්ලේ ආශ්චර්යය’ මෝටර් රථ රැළිය අගෝස්තු මස 6 සහ 7 යන දින වලදී හිඟුරාන සහ අම්පාර නගර ඔස්සේ පැවැත්වේ. තරගාවලියේ තාක්ෂණික කටයුතු 4 සහ 5 යන දින වලදී කෙරෙන අතර 6 සහ 7 යන දෙදින පෙරවරු 7.00 සිට තරගාවලිය පැවැත්වේ.

අදියර 3 කින් සමන්විත වන මෙම තරගාවලියේදී ක්‍රීඩකයන්ට ගමන් කිරීමට සිදුවන මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 478 කි. එහි පළමු අදියර 6 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වෙන අතර එහිදී ආවරණය වන දුර කිලෝ මීටර් 110 කි.

මෙහි දෙවැනි අදියර කොටස් දෙකකින් සමන්විත වන අතර ඉන් පළමු කොටස 6 වැනිදා පස්වරු 2.00 සිට පස්වරු 5.30 දක්වාද, දෙවැනි කොටස 7 වැනිදා පස්වරු 2.00 සිට පස්වරු 6.00 දක්වාද පැවැත්වේ. එම කොටස් දෙකේදී කිලෝ මීටර 252 ක දුරක් ආවරණය වේ. තෙවැනි අදියරේදී කිලෝ මීටර 116 ක දුරක් ආවරණය වන අතර එය 7 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වේ.

එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ, එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ, එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ, එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 2000 දක්වා) සුබාරු ලෙගසි මෝටර් රථ, එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ, ටී. සහ ජී. කාණ්ඩයේ විවෘත ජීප් රථ ලෙස කාණ්ඩ 6 ක් යටතේ තරගාවලිය පැවැත්වේ.

මෙම සෑම කාණ්ඩයකම පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට ත්‍යාග සහ සහතිකපත් පිරිනැමෙන අතර සමස්ථ තරගාවලියේ ශූරතාව සහ අනු ශූරතාව සඳහා මෙන්ම තෙවැනි, සිව්වැනි සහ පස්වැනි ස්ථාන වලටද ත්‍යාග සහ සහතිකපත් පිරිනැමේ.

දිනේෂ් දෙහෙරගොඩ, සෆ්රාස් ජුනයිඞ්, රියාස් ෆාරුක්, සමින් අත්තනායක, ඉෂ්රාක් වහබ්, උෂාන් පෙරේරා, මිස්සක නවීන්, සජාඞ් සුහේර්, ජනක ඩයස්, ඉන්දු සමරකෝන්, දුමින්ද ජයසිංහ සහ කුෂාන් පීරිස් වැනි දිවයිනේ ප්‍රමුඛ පෙලේ මෝටර් රථ රියැදුරන්ද සමගින් තරගකරුවෝ 24 දෙනෙක් මෙම තරගාවලියට සහභාගි වෙති.

මෙහි ත්‍යාග ප්‍රධානෝත්සවය අම්පාර එච්. එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී 7 වැනිදා පස්වරු 6.30 සිට සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ නිලධාරීන්ගේ සහ තරගාවලියේ අනුග්‍රාහකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
ගල් ඔය වැවිලි පුද්ගලික සමාගම, මෙසර්ස් මැක්සිස් ටයර් සමාගම සහ ක්‍රීඩා අමාත්‍යංශය මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරන අතර මොබිල් ඔයිල්, සී. අයි. සී. සමාගම, අයන් මෑන් සහ රෙඞ් බුල් යන සමාගම් එහි සෙසු අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි. තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමගම වෙතිනි.

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සභාපති මහාචාර්ය ඔස්කා අමරසිංහ මහතා, මෙසර්ස් මැක්සිස් ටයර් සමාගමේ සභාපති සුනිල් ෆොන්සේකා මහතා අතින් අනුග්‍රාහක චෙක්පත ලබාගත් අයුරු... තරගාවලි සංවිධායක කමිටුවේ සභාපති අෂාර් අමීන් මහතා සහ මෙසර්ස් මැක්සිස් ටයර් සමාගමේ විකුණුම් සහ අලෙවි නිලධාරී ලියනසූරිය මහතාද ඡායාරූපයේ සිටිති.
(ඡායාරූපය - ශානුක අරවින්ද)

 


අදහස් (0)

‘දිගාමඩුල්ලේ ආශ්චර්ය’ මෝටර් රථ රැළිය 6-7

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.