Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘මන්කාඞ් ක‍්‍රමය’ ගැන මත ගැටුම

‘මන්කාඞ් ක‍්‍රමය’ ගැන මත ගැටුම

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 44 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (3 වැනිදා) එජ්බැස්ටන්හිදී පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී සචිත‍්‍ර සේනානායක විසින් ජොස් බට්ලර් දවාගත් ආකාරය සම්බන්ධයෙන් මේ වන විට ලෝ පුරා විවාදයක් ඇතිවී තිබේ.

ඇතැමෙක් එය ‘සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල’ සහ ‘සාධාරණ’ යයි කියතත් අදාළ දැවීයාම සම්බන්ධයෙන් සචිත‍්‍ර සේනානායක කළ ඉල්ලීමත් ශී‍්‍ර ලංකා නායක මැතිව්ස් එය අනුමත කිරීමත් ‘අශෝභන’ යයි එංගලන්ත නායකයා ඇතුළු තවත් අය කියති.

මෙවන් ආකාරයේ දවාගැනීම් කි‍්‍රකට් ලෝකයේ හඳුන්වනු ලබන්නේ ‘මන්කාඞ් කිරිම’ යනුවෙනි. එවන් හැඳින්වීමකට පසුබිම සකසා ඇත්තේ ඉන්දියාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර 1947 දී සිඞ්නි නුවරදී පැවැති ටෙස්ට් තරගයක වූ සිදුවීමකි.

ඉන්දියා -  ඕස්ටේ‍්‍රලියා ටෙස්ට් තරගයේදී පන්දු යවමින් සිටි විනෝ මන්කාඞ් තමන්ගේ අන්තයේ පිතිකරුවා වූ බිල් බ‍්‍රවුන් සීමා ඉරෙන් ඉවත්ව යනවා දුටු හෙයින් පන්දුව යැවීමෙන් වැළකී කඩුල්ල බිඳ දැම්මේය. දුවද්දී දවාගැනීමකට ඉල්ලීමක් කළ අවස්ථාවේ පිතිකරුවා සීමා ඉරෙන් පිටත සිටි හෙයින් ඉල්ලීමට විනිසුරු අනුමැතිය ලැබිණ.

එම සිදුවීම සිඞ්නි කී‍්‍රඩාංගණයේ ප‍්‍රධාන කී‍්‍රඩා මණ්ඩපයේ අසුන්ගෙන සිටි බොහෝ දෙනාගේ විමතියටත් විවේචනයටත් ලක් වූ අතර මාධ්‍ය කුටියේ පවා කතාබහට ලක්වූයේ ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩාවේ ප‍්‍රබල චරිතයක් වන විනෝ මන්කාඞ් වැන්නකු කී‍්‍රඩාවේ ගුණයහපත්කම් නොසලකා එවැන්නක් කළේ කෙසේද යන්නයි.

කෙසේ වෙතත් මන්කාඞ් - බිල් බ‍්‍රවුන් සිද්ධියේ නිදාන කතාවක්ද තිබේ.

එම තරගාවලියේදීම සිඞ්නි පිටියේදීම පැවැති පෙරහුරු තරගයකදීත් පන්දු යවන්නා පන්දුව යැවීමට පෙර බිල් බ‍්‍රවුන් තම සීමා ඉරෙන් ඉවත්ව ගියේය. වමතින් දග පන්දු යවන්නකු වූ විනෝ මන්කාඞ් පිතිකරුවාගේ කි‍්‍රයාව හොඳින්ම නිරීක්‍ෂණය කිරීමෙන් පසුව පිතිකරුවාට අවවාද කළේය.

බ‍්‍රවුන් එම අවවාදයට පිටුපෑ හෙයින් දෙවැනි අවස්ථාවේදී මන්කාඞ් විසින් බිල් බ‍්‍රවුන් දුවද්දී දවාගැනීමට හසුකරගන්නා ලදි. මන්කාඞ්ගේ එම කි‍්‍රයාව පසුදින සිඞ්නි පුවත්පත් වල විවේචනයට ලක්වූ නමුත් එවකට  ඕස්ටේ‍්‍රලියානු පිලේ නායකයාව සිටි ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ගේ පවා මතය වූයේ මන්කාඞ් වැරදි නොවන බවයි. එහෙත් ටෙස්ට් තරගයේදී කිසිදු අවවාද කිරීමකින් තොරවම ඉන්දීය දග පන්දු යවන්නා විසින්, එම ආකාරයෙන්ම බිල් බ‍්‍රවුන් දවාගන්නා ලදි. එදා සිට ඒ ආකාරයෙන් වන දැවීයාම් ‘මන්කාඞ් කිරීම’ ලෙසින් හැඳින්වේ.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසුව කි‍්‍රකට් කී‍්‍රඩාවේ නීති රීති තරමක් වෙනස් වූ අතර සංශෝධිත නීතියෙන් කියැවෙන්නේ පන්දු යවන්නා පන්දුව යැවීමේ ඉරියව්වට පිවිසීමට පෙර, පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරුවා සිය සීමා ඉරෙන් ඉවත්ව සිටී නම්, ඔහු දුවද්දී දවාගැනීමට පන්දු යවන්නාට අවසර තිබෙන බවයි. (42.15 නීතිය)

අනෙක් අතට නීත්‍යානුකූල වශයෙන් බැලූවහොත් එවන් දවාගැනීමකට පෙර පන්දු යවන්නා විසින් පිතිකරුවාට අවවාද කිරීමක් අවශ්‍ය නොවන නමුත් ලෝ පුරා පන්දු යවන්නන් පිතිකරුවන්ට එලෙස අවවාද කරන්නේද කි‍්‍රකට් කී‍්‍රඩාවේ යහගුණ තවමත් නොනැසී පවත්නා හෙයිනි.

ජොස් බට්ලර් දවාගැනීමට පෙර, 42 වැනි  ඕවරයේදී, බට්ලර්ට ඉතාමත් පැහැදිළිව දෙවතාවක්ම අවවාද කෙරණු නමුත් එංගලන්ත පිලේ කඩුලූ රකින පිතිකරුවා දිගින් දිගටම සිය වරද කරමින් සිටියේය. එහෙත් 44 වැනි  ඕවරයේදී සේනානායක කි‍්‍රකට් නීති පොතේ ඇති දේ කි‍්‍රයාවට නැංවීය.

එංගලන්ත පිල වෙනුවෙන් කී‍්‍රඩා කළ, පසුව කි‍්‍රකට් විනිසුරුවරයකුු මෙන්ම ඉහළ පෙළේ විස්තර විචාරකයකුද වන ඬේවිඞ් ලොයිඞ් මහතා පවසන්නේ සේනානායක විසින් බට්ලර් දවාගන්නා ලද ආකාරය සාධාරණ බවයි.

”ජොස් බට්ලර් දවාගත් අකාරය ඉතාම සාධාරණයි. මට නම් ඒ ගැන කිසිම ප‍්‍රශ්නයක් නෑ. මා හිතන විදිහට කි‍්‍රකට් කී‍්‍රඩාවේ ගුණාංග පිළිබඳව දැන් කතාකරන්න බෑ” යයි ඬේවිඞ් ලොයිඞ් එංගලන්තයේ ඬේලි මේල් පුවත් පතට ලිපියක් ලියමින් පවසා තිබිණ.

{ඇන්ජලෝ මැතිව්ස්ගේ තැන මා හිටියා නම් මා පිතිකරුවා වෙතට යනවා.

”බලනවා, තමුන්ට අවවාද කරලත් තමුන් ඒ දේම නැවතත් කළා. දැන් මමයි අමාරුවේ වැටිලා ඉන්නේ....මොකද තමුන් දැන් දැවීගිය තැනැත්තෙක්”

”හොඳයි මම තමුන්ට තවත් එක අවස්ථාවක් දෙන්නම්..හැබැයි පුතෝ ඊළග පාර නම් ඇතුළටම යවනවා..ආයෙ දෙකක් නෑ” කියලා කියන්න තිබුණා ඒත් මැතිව්ස් එහෙම දෙයක් නොකළ එක ගැන මා නම් ඔහුට දොස්  කියන්නේ නෑ..

ඒත් ඔහු ටිකක් වෙලාව අරන් තමන්ගේ කණ්ඩායමේ අනෙක් අය දිහා බැලූවා නම්...මොකද මේ කණ්ඩායමේ මහේල, සංගක්කාර හා ඩිල්ෂාන් වැනි ගොඩාක් ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් සිටින කණ්ඩායමක්....ඒත් ඔහු තීරණය ගත්තා. ඒකට කරන්න දෙයක් නෑ” යයි ද ඬේවිඞ් ලොයිඞ් ඬේලි මේල් පුවත් පතේ ලියා තිබිණ.

ලොයිඞ් එසේ ලීවද බට්ලර්ගේ දැවීයාමත්, තරගාවලියේ පරාජයත් නිසා මහත් කණස්සල්ලට පත්ව සිටින එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් ඬේලි මේල් පුවත් පතට පවසා ඇත්තේ මෙම සිදුවීම නිසා ටෙස්ට් තරගාවලියට අහිතකර බලපෑමක් ඇතිවිය හැකි බවයි.

”මා නම් මීට පෙර එවන් දෙයක් දැකලා නෑ. මා ඒ ගැන ඉතාමත් කණගාටු වෙනවා”

”ඒක ඉතාමත් දුර්වල කි‍්‍රයාවක්....තමන්ගේ සීමාවෙන් යාර බාගයක් විතර එළියේ ඉන්නවා කියන්නේ ලකුණක් සොරකම් කරන්න යාමක් නොවෙයිනේ” යයි ඇලිස්ටෙයාර් ක-ුක් ඬේලි මේල් පුවත් පතට පවසා තිබිණ.

මෙ අවස්ථාවේදී මහේල ජයවර්ධන තමන්ගේ කී‍්‍රඩකයාත් කණ්ඩායමත් ආරක්‍ෂා කළේය.

”අප සෑම වෙලාවකම උත්සාහ ගන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ යහපත් ගුණාංග ආරක්‍ෂා වන පරිදි කටයුතු කරමින් කී‍්‍රඩා කිරීමටයි. ඒත් අනෙක් කණ්ඩායම නීති රීති ආරක්‍ෂා කරන්න දන්නේ නැත්නම්, එවන් තත්ත්වයකදී නීතියෙන් පිළිසරණක් පැතීමට අපට සිදුවෙනවා”

”අප මේ සම්බන්ධයෙන් විනිසුරුවරයාට දැන්වූවා විතරක් නෙමෙයි බට්ලර්ටත් දෙවතාවක්ම අවවාද කළා” යයිද මහේල ජයවර්ධන පැවසීය.

දැවී යාම සම්බන්ධයෙන් ඉල්ලීම කළ අවස්ථාවේදී බට්ලර්ගේ දැවී යාම තමන් අපේක්ෂා කරන්නේද යන්න ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් විමසා සිටීමට තරම් විනිසුරුවරයා (එංගලන්ත ජාතිකයකු වන මයිකල් ගෆ් මහතා) පිතිකරුවා කෙරෙහිත් සාධාරණ විය.

තරගයෙන් අනතුරුව පැවැති ත්‍යාග ප‍්‍රදානෝත්සවයට පෙර ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව් ප‍්‍රකාශ කර සිටියේ මෙම තරගයේදී පමණක් නොව මීට පෙර පැවැති (ලෝඞ්ස්) තරගයේදීත් ජොස් බට්ලර්ට එවන් අවවාද කිරීමක් කළ බවයි.

එංගලන්ත පිලේ හිටපු නායකයකු වන මයිකල් ඇතර්ටන් පවසා තිබුණේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිවැරදි තීරණය ගෙන තිබෙන බවයි.

”ඒක සාධාරණයි”

”මා නම් කි‍්‍රකට් කී‍්‍රඩා කරන්න ඉගෙන ගන්නා කාලයේ සිටම පුරුදු වෙලා හිටියේ පන්දු යවන්නා පන්දුව යවන තුරු මගේ සීමාවේ ඉන්නයි. එතකන් පිත්තත් සීමාව ඇතුළේ තියෙන්න  ඕනේ. ඒත් මේ වෙනකොට හුගාක් පිතිකරුවන් කිසි තේරුමක් නැතිව තමන්ගේ සීමාවෙන් එහාට මෙහාට යන බව පේනවා” යයි ඇතර්ටන් ස්කයි ස්පෝට්ස් රූපවාහිනී සේවයට පැවසීය.

ඇතර්ටන්ගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඇලෙක් ස්ටුවර්ට්ද එකග විය. ඇලෙක් ස්ටුවර්ට් යනු එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට කී‍්‍රඩා කළ, එංගලන්ත පිලේ හිටපු නායකයෙකි.

”ඒක ඒ තරම් හරිනෑ තමයි. ඒත් ඒ වෙනුවෙන් ඉල්ලීමක් කරන්න ශී‍්‍ර ලාංකිකයන්ට සම්පූර්ණ අයිතිය තියෙනවා”

”ඔවුන් බට්ලර්ට අවවාද කළා. ඒත් බට්ලර් නැවතත් ඒකම කළා...සේනානායකට ඒ දේ කරන්න අවසර තියෙනවා වගේම මැතිව්ස් එය අනුමත කිරීමත් නිවැරදියි....අප (ඉංගි‍්‍රසි ජාතිකයන් වශයෙන්) ඒ දේ දකින්න කැමති නෑ තමයි. ඒත් නීතියක් තියෙනවා නම් ඒ නීතිය කි‍්‍රයාත්මක කරන්න බැරි ඇයි” යයි ඇලෙක් ස්ටුවර්ට් බී. බී. සී. සේවයට පැවසූ බව රොයිටර් පුවත් සේවයෙන් වාර්තා කෙරිණ.

කෙසේ වෙතත් විනෝ මන්කාඞ්ට පසුව එවන් දවාගැනීමක් කළ පළමු වැන්නා සචිත‍්‍ර සේනානායක නොවේ. කි‍්‍රකට් ලෝකයේ සැබෑ දැවැන්තයන් වූ චාලි ගි‍්‍රෆිත්, ග්‍රෙග් චැපල් සහ කපිල් දේව්ද මෙවැනි දවාගැනීම් කර තිබේ. ටෙස්ට් තරග වලදී එවන් අවස්ථා 4 ක් වාර්තා වී ඇති අතර එක්දින තරග වලදීත් එවන් අවස්ථා 4 ක් වාර්තා වී තිබේ.

ටෙස්ට් තරගයකදී අවසන් වරට ‘මන්කාඞ්’ දවාගැනීමක් වාර්තා වූයේ 1978-79 තරගවාරයේ  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවරදී ඇලන් හර්ස්ට් විසින් පාකිස්තානු පිතිකරු සිකන්දර් බාක්ත් දවාගත් අවස්ථාවේදීය.

කෙළිමඬල වෙබ් අඩවියේ මුල් පිටුවේ පහළ කොටසේ ඇති ‘මගේ මතය’ කොටසට පිවිසීමෙන් මෙම දැවී යාම සම්බන්ධයෙන් ඔබේ මතය පළකිරීමේ අවස්ථාව කෙළිමඬළ පාඨකයන්ටත් තිබේ.


අදහස් (44)

‘මන්කාඞ් ක‍්‍රමය’ ගැන මත ගැටුම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.