Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය අද සිට
මලල ක්‍රීඩා

100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය අද සිට

editorial - 2022 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාවේ 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද (8 වැනිදා) දියගම ‘මහින්ද රාජපක්ෂ’ පිටියේදී ආරම්භ වේ. තරගාවලිය හෙටත් අනිද්දාත් (9-10) එහිදී පැවැත්වේ.  වසර 1921 සැප්තැම්බර් 21 වැනිදා  ශ්‍රී ලංකාවේ පළමු ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය පවත්වා තිබේ. 

මෙම වසරට නියමිත පොදුරද මඩුලු ක්‍රීඩා උළෙල හා ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් තෝරා ගන්නා අවසන් තරගාවලිය වන්නේද මෙම තරගාවලියයි. 


මෙම වසරට නියමිත ශත සංවත්සර ජාතික මලල ක්‍රීඩා  ශූරතා තරගාවලිය වඩාත් උත්සවශ්‍රීයෙන් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය උනන්දු වී සිටියේය. එහෙත් රට තුළ උද්ගත වූ හදිසි තත්ත්වය හේතුවෙන්  ඊයේ (7) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට  සූදානම් කර තිබූ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ශත සංවත්සර නිල උත්සවයද කල් දමනු ලැබීය.

දියගමදී අද ආරම්භ වන ශත සංවත්සර මලල ක්‍රීඩා තරගාවලිය සඳහා රටවල් කීපයකින් ආරාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි කර ගැනීමට ගත් තීරණයද වත්මන් තත්ත්වය හමුවේ අත්හැර දමා තිබේ. 

ශත සංවත්සර තරගාවලිය සඳහා දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට ආසන්න පිරිසක් සහභාගිවීමට නියමිතය. 

අද (8) දිනයේදී පෙරවරු 8.00 ට මීටර 10,000 (කාන්තා) ඉසව්වෙන් තරගාවලිය ආරම්භ වේ.   මීටර 5000 (පිරිමි), මීටර 1500 (කාන්තා), රිටි පැනීම කාන්තා (පිරිමි), මිටිය විසිකිරීම (කාන්තා) හා පිරිමි, යගුලි විසිකිරීම (පිරිමි) මීටර 100 හා මීටර 110-කඩුලු, අවසන් තරග අද දිනයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ සිය වසරක මලල ක්‍රීඩාව - ග්‍රන්ථය එළිදකී

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ශත සංවත්සරය නිමිත්තෙන් සම්පාදනය කළ ‘ශ්‍රී ලංකාවේ සිය වසරක මලල ක්‍රීඩාව’(100 years of sriLanka Athletics) ඉංග්‍රීසි ග්‍රන්ථය දැනට මෙරට ජීවතුන් අතර සිටින ඔලිම්පික් ක්‍රීඩා  නියෝජය කළ පැරණිතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති විමලසේන පෙරේරා මහතාට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා විසින් පිළිගැන්වූ අවස්ථාව. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ලේකම් ප්‍රේමා පින්නවල මහතා (වම් කෙළවරේ) සහ  ශ්‍රී ලංකාවේ සිය වසරක මලල ක්‍රීඩාව ග්‍රන්ථය සම්පාදනය කළ සමන්කුමාර ගුණවර්ධන යන මහතා (දකුණු කෙළවරේ) ඡායාරූපයේ සිටිති .  


අදහස් (0)

100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.