Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 2020 යොවුන් ක්‍රීඩා උළෙල අවලංගු කරයි

2020 යොවුන් ක්‍රීඩා උළෙල අවලංගු කරයි

නාමල් පතිරගේ - 2021 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



වසර 2020ට නියමිත 32 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල අවලංගු කරමින් මෙම වසරට නියමිත ක්‍රීඩා උළෙල ත්‍යාග මුදල් වැඩි කරමින් පැවැත්වීමට සැළසුම් කර ඇතැයි ජාතික තරුණ සේවා සභාව පවසයි.  තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් තුෂාර ජයසිංහ මහතා ලංකාදීපයට පැවසුවේ වසර 2020 යොවුන් ක්‍රීඩා උළෙලේ මූලික අදියරට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියල්ලේම  මූලික තරග වට පවත්වා අවසන් කර තිබියදී එය කොරෝනා උවදුර හමුවේ අවලංගු කර දැමීමට සිදු වූ බවයි.


2020 ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග ආරම්භ කරමින් එහි වෙරළ වොලිබෝල් තරගාවලිය පසුගිය සැප්තැම්බර් මාසයේදී හෙයියන්තුඩුවේදී පවත්වා අවසන් කිරීමටද තරුණ සේවා සභාව පියවර ගෙන තිබුණි.

 “මෙතෙක් මේ ක්‍රීඩා උළෙල පවත්වා තිබෙන ආකාරය ගැන මගේ ප්‍රසාදයක් නෑ. ඒ නිසා මගේ පාලන කාලය තුළදී ඊට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩාත් පහසුකම් සැළසෙන ආකාරයෙන් හා ත්‍යාග මුදල් වැඩි වෙන ආකාරයෙන් පවත්වන්න සියළු ක්‍රියාමාර්ග ගන්නවා.”  යයිද තුෂාර ජයසිංහ මහතා පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන බහුතරයක් වන ගම්බද තරුණ තරුණියන්ට ලැබෙන සහතික පත්‍රයට වැඩි වටිනාකමක් ලබාදීම සඳහා එය කෘත්‍රිම ධාවන පථයක් සහිත ක්‍රීඩාංගණයක පැවැත්වීමට උත්සාහ කරන බවයි


“ගිය පාර (2019) ක්‍රීඩා උළෙලේ ජයසංඛේත ප්‍රදානෝත්සවයට සහභාගි වුණු මට ලැජ්ජ හිතුණා මොනවද මේ තෑගි කියලා කොල්ලන්ට කෙල්ලන්ට දෙන්නේ කියලා. පදක්කම් ලාභීන්ට ලොකු තෑගි පුවරු අතට දීලා රුපියල් 1000 ක් වගේ ගණනුත් දෙනවා මා දැක්කා. ඒ නිසා මීළඟ ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන අවම තෑගි මුදල රුපියල් 10,000 ක් කරන්න මා බලාපොරොත්තු වෙනවා” යැයිද තුෂාර ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ජාතික මහ ක්‍රීඩා උළෙලට පමණක් දෙවැනි වන ජාතික යොවුන් ක්‍රීඩා උළෙල රාජ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය කෙරේ. එය මෙරට වාර්ෂික ප්‍රධානතම ක්‍රීඩා උළෙල දෙකෙන් එකකි.
ඒ සඳහා නිර්දේශ වන්නේ ජාතික තරුණ සේවා සභාව දිවයින පුරා පවත්වා ගෙන යන යොවුන් සමාජවල සාමාජිකත්වය හෙබි තරුණ තරුණියන්ය. 10,000 කට ආසන්න යෞවන සමාජ ගණනක් මේ වන විට රට පුරා ක්‍රියාත්මක වේ.

මෙම ක්‍රීඩා උළෙලේ විශේෂත්වය එහි මලල ක්‍රීඩා ඉසව් වයස 20න් පහළ හා 20න් ඉහළ පරිදි කාණ්ඩ දෙකකින් පැවැත්වීමය. 2020 ක්‍රීඩා උළෙල 2021ට කල් දමා පැවැත්වීමේදී 2020ට එම වයස් කාණ්ඩවල කල් ගෙවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය වයස ඉක්මවා තිබීම වැනි ගැටලු මතුවිය හැකි බැවින් ද එම වසරේ ක්‍රීඩා උළෙල අත්හැර දමා තිබේ. 2021 වසරට නියමිත යොවුන් ක්‍රීඩා උළෙලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මූලික තරග වටය ලබන පෙබරවාරි මාසයේ සිට පැවැත්වීමට ද තරුණ සේවා සභාව සැළසුම් කර ඇත. කෙසේ වුවත් වසර 2016 දී යොවුන් ක්‍රීඩා උළෙල දෙකක් පැවැත්වීමට තරුණ සේවා සභාව කටයුතු කර ඇත්තේ කලින් වසරේ ක්‍රීඩා උළෙල ද 2016ට පැවැත්වීමට කටයුතු කිරීමෙනි.  

 


අදහස් (0)

2020 යොවුන් ක්‍රීඩා උළෙල අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.