Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 2024 ක්‍රීඩාවට කෝටි 260ක්

2024 ක්‍රීඩාවට කෝටි 260ක්

editorial - 2024 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා අමාත්‍යාංශයේ රේඛීය දෙපාර්තමේන්තුව වන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත 2024 වසරේ ක්‍රීඩා සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 2600ක් හෙවත් රුපියල් කෝටි 260ක ප්‍රතිපාදන වෙන් කිරීමට රජයේ මහා භාණ්ඩාගාරය කටයුතු කර තිබේ.

මෙය පසුගිය  වසරට (2023) සාපේක්ෂව ප්‍රතිපාදන ඉහළ යාමකි. මෙම මුදලෙන් 80% කට ආසන්න මුදලක් ක්‍රීඩා සංවර්ධන කටයුතු විෂය සඳහා යොදා ගැනේ.‘‘ක්‍රීඩා ශක්ති’’ ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් රුපියල් කෝටි 10ක් වෙන්කර ඇත.

මේ අතර මෙම වසරට යෙදෙන 48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා දළ ප්‍රතිපාදන වෙන් කිරීම රුපියල් මිලියන 180කි.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා ප්‍රවර්ධන කටයුතු මෙහෙය වන අතර එහි මේ වනවිට වැටුප් ලබන සේවක සේවිකාවන්ගේ ගණන  265කි. මෙම පිරිසට ක්‍රීඩා ව්‍යාපෘති නිලධාරීහු හා පුහුණුකරුවෝද ඇතුළත් වෙති.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතා ‘ලංකාදීප’ය  කළ විමසුමකදී පැවසුවේ මෙවර වසර ආරම්භයේදීම මෙතරම් මුදලක් වෙන්කර ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් වන බවයි.

මෙරට ලියාපදිංචි  ජාතික ක්‍රීඩා  සංගම් 66ක් මේ වනවිට ක්‍රියාත්මක වන  අතර ඒවායෙහි 2024 වාර්ෂික සැලසුම් සඳහා ද යම් මුදල් ප්‍රමාණයක් වෙන් කෙරෙන බව මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ වනවිට ජාතික ක්‍රීඩා සංගම් හරහා ක්‍රියාත්මක වන ජාතික පුහුණු සංචිතයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750කට ආසන්න පිරිසක් සඳහාත් මාසිකව රුපියල් දසදහස බැගිනුත් උසස් දක්ෂතා ප්‍රවර්ධන සංචිතයන්හි කල්ගෙවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අයෙකුට රුපියල් ලක්ෂයක් බැගින් ප්‍රදානයක් සිදු කරන්නේත් ක්‍රීඩා අමාත්‍යාංශයේ රේඛීය පොර්තමේන්තුව හරහාය.

වසර 2020 සිට උද්ගත වූ ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පෙර නොවූ විරූ අයුරින් කඩා වැටීමකට ලක්වීමේදී පසුගිය වසර කිපයේදී රජයේ මහා භාණ්ඩාගාරය ක්‍රීඩා අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදනද සීමා කෙරුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වාර්ෂික  සංවිධානය කරන රාජ්‍ය අනුග්‍රහය ලබන ප්‍රධානතම ක්‍රීඩා තරගාවලිය  වන ජාතික මහා ක්‍රීඩා උළෙලටද බලපෑම් එල්ලවූයේ ඒ සඳහා වෙන් කළ අරමුදල් සීමා කිරීම නිසාය.

ඒ අනුව වසර 2019 දී බදුල්ලේදී 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් පසුව එය වසර කීපයක්ම අත්හැර දැමුණු අතර එහෙත් එම වසරද ගණනය කරමින්  පසුගිය වසරේ අගෝස්තු 24-25-26 යන දිනවල සුගතදාස පිටියේදී 47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පවත්වා අවසන් කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

මෙම වසරට නියමිත 48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල අගෝස්තු  28  සිට 31 වැනිදා දක්වා කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වෙන බව 2024 ජාතික මලල ක්‍රීඩා තරග දින දසුනේ දැක්වෙයි.


අදහස් (0)

2024 ක්‍රීඩාවට කෝටි 260ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.