Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 24 වැනි ස්ථානය කි.ග්‍රෑ. 2 කින් ගිළිහෙයි

24 වැනි ස්ථානය කි.ග්‍රෑ. 2 කින් ගිළිහෙයි

ශනුක අරවින්ද - 2018 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එදා මෙදා තුර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ එක් තරගාවලියකදී ශ්‍රී ලංකාවට හිමිවූ වැඩිම පදක්කම් සංඛ්‍යාව දිනා දීමට මෙවර ඕස්ටේ්‍රලියාවේ ගෝල්ඞ් කෝස්ට්හිදි පැවැති 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට බර ඉසිලීමේ සහ බොක්සිං ඉසව්වලින් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් හිමිවිය.

පදක්කම් හයක් දිනාගත් නමුත් ශ්‍රී ලංකාවට හිමිවූයේ ක්‍රීඩා උළෙලේ 31 වැනි ස්ථානයයි.

මින් පෙර ශ්‍රී ලංකාව වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා තිබුණේ 1950 වසරේ නවසීලන්තයේ ඕක්ලන්ඞ්හිදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදීය. එවර ශ්‍රී ලංකාව කඩුලු පැන දිවීමේ ඉවසව්වෙන් රන් පදක්කමක්, බොක්සිං ක්‍රීඩාවෙන් රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූ එකම රිදී පදක්කමට හිමිකම් කීමට කිලෝ ග්‍රෑම් 69 (පිරිමි) බර පංතිය යටතේ තරග වැදුණ ඉන්දික දිසානායක සමත් විය. ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 137 ක් එසවූ ඉන්දික, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 160 ක් එසවීය. එහිදී විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 297 කි.

අවසන් උත්සාහයන් දෙකම (කිලෝ ග්‍රෑම් 163) අසාර්ථක වීම නිසා ඉන්දිකට එම ඉසව්වේ රිදී පදක්කමෙන් සෑහීමකට පත් වීමට සිදුවූ අතර ඔහුට එහි රන් පදක්කම අහිමිවූයේ කිලෝ ග්‍රෑම් 2 ක අඩුවකිනි.

ඉන්දිකට තවත් කිලෝ ග්‍රෑම් 2 ක් එසවීමට හැකිවූයේ නම් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාගත හැකිවනවා පමණක් නොව ක්‍රීඩා උළෙලේ 31 වැනි ස්ථානයේ සිට 24 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමේ අවස්ථාවද තිබිණ. බංග්ලාදේශය මෙම ක්‍රීඩා උළෙලේදී දිනාගත්තේ පදක්කම් දෙකක් වුවද එම පදක්කම් දෙකම රිදී පදක්කම් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට වඩා එක ස්ථානයකින් ඉහළ යමින් 30 වැනි ස්ථානයට පත්විය.

මෙවර තරගාවලියේ (2018) පළමු දිනයේදීම ශ්‍රී ලංකාවට පළමු පදක්කම දිනාදීමට බර ඉසිලීමේ ක්‍රීඩක චතුරංග ලක්මාල් සමත් විය. කිලෝ ග්‍රෑම් 56 (පිරිමි) බර පංතිය යටතේ තරග වැදුණ ලක්මාල් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේය. ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 114 ක් එසවූ චතුරංග, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 134 ක් එසවීය. එහිදී ඔහු විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 248 විය.

එදිනම පැවැති තවත් බර ඉසිලීමේ ඉසව්වකදී ශ්‍රී ලංකාවට කිලෝ ග්‍රෑම් 56 (කාන්තා) බර පංතියේ ලෝකඩ පදක්කම දිනාදීමට දිනූෂා ගෝමස් සමත් වූවාය. ස්නැච් ක්‍රමයට එසවූ කිලෝ ග්‍රෑම් 70 සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට එසවූ කිලෝ ග්‍රෑම් 85 සමග එහිදී ඇය එසවූ මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 155 කි.

බර ඉසිලීමේ ඉසව්වට සහභාගි වූ තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් වන තිලංක විරාජ් සහ චමරි වර්ණකුලසූරිය ඔවුන් නියෝජනය කළ බර පංතිවල සිවුවැනි ස්ථානවලට පත්වූහ. එහිදී ඔවුන් දෙදෙනාටම ලෝකඩ පදක්කම් අහිමිවී ගියේ යන්තමිනි.

කිලෝ ග්‍රෑම් 62 (පිරිමි) බර පංතිය යටතේ තරග වැදුණ තිලංක විරාජ්, එහිදී එසවූ මුලු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 279 කි. ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට දරණ ලද අවසන් උත්සාහයන් දෙකම (කිලෝ ග්‍රෑම් 160) අසාර්ථක වීම නිසා ඔහුට එම බර පංතියේ සිවුවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. කිලෝ ග්‍රෑම් 53 (කාන්තා) බර පංතියේ සිවුවැනි ස්ථානයට පත්වීමට චමරි වර්ණකුලසූරිය සමත් වූයේ කිලෝ ග්‍රෑම් 172 ක බරක් ඔසවමිනි. එය එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් ක්‍රීඩිකාව එසවූ මුලු බරට වඩා කිලෝ ග්‍රෑම් 3 ක අඩුවීමකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස මෙවර තරගාවලියට සහභාගි වූ බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන විදානගේ කිලෝ ග්‍රෑම් 77 බර පංතියේ 5 වැනි ස්ථානයට පත් විය. ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 132 ක් එසවූ චින්තන, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 166 ක් එසවීය. එහිදී ඔහු විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 298 කි.

2006 වසරේ ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝ ග්‍රෑම් 62 බර පංතියේ රන් පදක්කම දිනාගත් චින්තන, 2010 වසරේ ඉන්දියාවේදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝ ග්‍රෑම් 69 බර පංතියේ රිදී පදක්කම දිනාගත්තේය.  එහෙත් මෙවර තරගාවලියේදී ස්නැච් ක්‍රමයට කිලෝ ගෑම් 135 එසවීමට ගත් උත්සාහය මෙන්ම ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 168 ක් එසවීමට ගත් උත්සාහයන් දෙකද අසාර්ථක වීම නිසා චින්තනට පදක්කමක් කරා යෑමට තිබූ අවස්ථාව අහිමි විය.
 
වසර 58 ක දිගු නිහැඩියාවකට පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට බොක්සිං ඉසව්වෙන් පදක්කමක් දිනාදීමට අනූෂා කොඩිතුවක්කු සමත් වූවාය. කිලෝ ග්‍රෑම් 45-48 බර පංතියේ යටතේ තරග වැදුණ අනූෂාට එම ඉසව්වේ අවසන් පූර්ව තරගයේදී ලෝක ශූර මේරි කොම් හමුවේ පරාජයට පත්වීම නිසා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය.

බොක්සිං ඉසව්වේ පිරිමි තරග වලදී කිලෝ ග්‍රෑම් 46-49 බර පංතිය යටතේ තරග වැදුණ තිවංක රණසිංහ සහ කිලෝ ග්‍රෑම් 52 බර පංතිය යටතේ තරග වැදුණ ඉෂාන් බණ්ඩාරද ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනා දුන්හ. අවසන් පූර්ව තරග වලදී පිළිවෙලින් එංගලන්ත ක්‍රීඩකයකු සහ ඉන්දීය ක්‍රීඩකයකු හමුවේ පරාජයට පත්වීම නිසා ඔවුන් දෙදෙනාටද රන් හෝ රිදී පදක්කමක් කරා යෑමට නොහැකි වූහ.

පදක්කම් දිනාගැනීමට නොහැකි වුවද බැඞ්මින්ටන්, ස්කොෂ් සහ මල්ලවපොර මලල ක්‍රීඩා ඉසව්වලදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එහිදී බැඞ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ අවසන් ක්‍රීඩකයන් 8 දෙනා අතරට සුදුසුකම් ලබාගැනීමට දිනූක කරුණාරත්න සමත් වූ අතර පිරිමි යුගල ඉසව්වේ අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණීමට සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක සමත් වූහ. සචින්ට සහ බුවනෙකට එම ඉසව්වේ ලෝකඩ පදක්කම අහිමි වී ගියේ තෙවැනි ස්ථානය තේරීම සඳහා පැවැති තරගයේදී මැලේසියානු කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම හේතුවෙනි.

හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වූ දිල්හානි ලේකම්ගේ එම ඉසව්වේ 5 වැනි ස්ථානයට පත් වූවාය. තෙවැනි උත්සාහයේදී දිල්හානි හෙල්ල විසිකළ මීටර 56.02 ක දුර, මෙවර තරගාවලියේදී ඇය දැක්වූ ඉහළම දක්ෂතාවය බවට පත්විය. දුර පැනීමේ ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වූ ජානක විමලසිරි එහි 7 වැනි ස්ථානයට පත්විය. අවසන් මහ තරගයේ තෙවැනි උත්සාහයේදී වාර්තා කළ මීටර 7.89 ක දුර ජානකගේ ඉහළම දක්ෂතාව ලෙස සටහන් විය.

මීටර් 100 (පිරිමි) සහාය දිවීමේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට සුදුසකම් ලැබීමේ තරගයේදී තෙවැනි ස්ථානය හිමිකරගත් අතර අවසන් තරගයේදී (තත්පර 39.04) නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවමින් 6 වැනි ස්ථානයට පත්විය. එහිදී හිමාෂ ඒෂාන්, ෂෙහාන් අඹේපිටිය, මොහොමඞ් අෂ්රෆ් සහ විනෝජ් ද සිල්වා ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කළහ.
 
පිහිනුම් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි වුවද, මීටර 50 සහ මීටර 100 නිදහස් ආර ඉසව්වල ශ්‍රී ලංකා වාර්තා අලුත් කිරීමට මැතිව් අබේසිංහ සමත් විය. තත්පර 22.65 කින් මීටර 50 ඉසව්ව නිමා කළ මැතිව්, මීටර් 100 ඉසව්ව නිමා කළේ තත්පර 49.11 කිනි. එහිදී මීටර් 50 පසුපස ආර ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට අකලංක පීරිස් සමත් වූයේ තත්පර 26.52 කින් එම ඉසව්ව නිමා කරමිනි.

කාන්තා ස්කොෂ් ඉසව්වට සහභාගි වූ මිහිලියා මෙත්සරණි එම ඉසව්වේ පළඟ අනුශූරතාව හිමිකර ගැනීමට සමත් වූවාය. පළඟ ශූරතාව සඳහා පැවැති තරගයේදී බාර්බඩෝස් ක්‍රීඩිකා මීගන් බෙස්ට් හමුවේ පරාජයට පත්වීම නිසා මිහිලියාට පළඟ අනුශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවූවාය.

මල්ලව පොර ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක දෙවොෂාන් ප්‍රනාන්දු කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තද එහිදී පාකිස්තාන ක්‍රීඩක මුහම්මද් බිලාල් හමුවේ පරාජයට පත්වීම නිසා ඔහුට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය. මුහම්මද් බිලාල් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් ක්‍රීඩකයාය.

ක්‍රීඩිකාවන් 5 දෙනෙක් පමණක් සහභාගි වූ කිලෝ ග්‍රෑම් 53 (කාන්තා) බර පංතිය යටතේ තරග වැඳුණ ශ්‍රී ලංකා මල්ලව පොර ක්‍රීඩිකා දීපිකා දිල්හානි, ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකාව පරාජය කරමින් එම බර පංතියේ සිවුවැනි ස්ථානයට පත්වූවාය.

 

-036


අදහස් (0)

24 වැනි ස්ථානය කි.ග්‍රෑ. 2 කින් ගිළිහෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.